පසුගියදා යාපනය සරසවියේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක සංස්කෘතික අංගයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදකාරී සිද්ධියක් පදනම් කරගෙන විවිධ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් එක්තරා පිරිසක් ජාතිවාදය මතුකිරීමට සැරසෙන බවත් එයට මුළා නොවන ලෙසත් මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සමාජවාදී ශිෂ්‍ය සංගමය හා
විෂය භාර ඇමති කිරිඇල්ල ප්‍රකාශ නිකුත් කරමින් දන්වා ඇත.
විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධානය කර තිබූ මෙම උත්සවය සම්ප්රදාය අනුව යමින් කොටසක් සිංහල ක්රමයටත්, අනෙක් කොටස දෙමළ ක්රමයටත් පවත්වා තිබූ අතර එයට එකඟවී උත්සවයේ සංවිධාන කටයුතුද සිදුවී අවසානයේ උත්සවය පවත්වන්නටද කටයුතු යෙදී තිබුණ අතර
සිංහල සංස්කෘතික අංගයක් ලෙස වෙස් නැටුම පැවැත්වීමට ඉඩ නොදෙන බව එම සිසුන් පිරිස දැන්වීමෙන් අනතුරුව මතභේදය ඇතිව තිබේ.
සිංහල - දෙමළ සංවිධායක සිසුන් අතර ඇතිවූ ගුටි කෙළිය නිසා එම උත්සවයද ඇණ හිට තිබෙන අතර ගල්, මුල්, යකඩ පොලූ මගින් කළ පහරදීම් නිසා 25 දෙනෙකුට පමණ තුවාල සිදුවී රෝහල් ගතකරන්නට සිදුවිය.
අනතුරුව විද්‍යා පීඨයේ සිසුන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නේවාසිකාගාර තුළට යවනු ලැබුවද එය පාලනය කරන්නට බැරිව යාමෙන් දැඩි පොලිස් ආරක්ෂාව මැද සිසු සිසුවියන් බස් රථ මගින් වවුනියාව දක්වා රැගෙන ඒමට කටයුතු කර ඇත.
ඊයේ (17 වැනිදා) වන විට යාපනය විශ්වවිද්‍යාලය වටා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ආරක්ෂාව තර කර තිබිණි.
යාපනය විශ්වවිද්‍යාලය තුළ සිදු වූ ගැටුම් පදනම් කර ගනිමින් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන ලෙස ශිෂ්‍ය සංගම් සියලූ දෙනාගෙන් ඉල්ලා ඇත.