වෙරිවූ නියමුවා නිසා ශ‍්‍රීලන්කන් යානය පැය 15 ප‍්‍රමාදවේ
නියමුවාගේ වැඩ තහනම් - මගීන්ට වන්දි


ජර්මනියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපළින් පසුගිය සිකුරාදා (19) පස්වරු 3.20ට ශ‍්‍රී ලංකාව බලා පියාසර කිරීමට තිබූ මගීන් 259 ක් රැගත් ගුවන් යානය පැය 15 ක් ප‍්‍රමාදවී තිබේ. එයට හේතුවූයේ යානය රැගෙන ඒමට නොහැකිව එහි ප‍්‍රධාන ගුවන් නියමුවා බීමත්ව ඇද වැටී සිටීමයි.
ගුවන් නියමු ප‍්‍රධානී කපිතාන් උපේන්ද්‍ර රණවීර ඉන්පසුව සිදු කළ මත්පැන් පරීක්ෂණයෙන්ද අසමත්වූ අතර
මේ වනවිට ඔහුගේ වැඩ තහනම් කර තිබේ.
යූ.එල්. 554 දරන ඒ 330 වර්ගයේ මෙම ශ‍්‍රී ලන්කන් ගුවන් යානය ඉන් පසුව පදවා ගෙන පැමිණ ඇත්තේ ජර්මනිය වෙත ලංකාවෙන් ගිය වෙනත් යානයක නියමුවෙකි. ජාත්‍යන්තර නීතිය අනුව එම නියමුවාට පැය 10 ක විවේක

ගැන්වීමකින් පසු දෙවැනි යානයක් පැදවීමේ අවසරය ලබාදීය හැකි නිසා පෙර කී අකරතැබ්බයට ලක්වූ යානය ඔහුට භාර දෙන්නට හැකිවූයේ පැය 15 ක ප‍්‍රමාදයකිනි.
මෙම ප‍්‍රමාදය නිසා එහි සිටි සියලූම මගීන්ට වන්දි ගෙවීමටත් ගුවන් යානය වැඩිවේලා තොටුපළේ නතර කිරීමේ ප‍්‍රමාද ගාස්තු ගෙවීමටත් ශ‍්‍රී ලන්කන් සමාගමට සිදුව තිබේ.
යුරෝපා කොමිසමේ නීති අනුව පැය 3 කට වඩා ප‍්‍රමාදවන ගුවන් යානාවල මගීන්ට අදාළ සමාගමෙන් වන්දි ගෙවීය යුතුය.
ඒ අනුව ගුවන් මගියකුට යුරෝ 600ක් එනම් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 96,960ක් වන්දි ලබා ගෙවන්නට සිදුව ඇත. මගීන් 259 ට එම මුදල රුපියල් කෝටි 2 කට වැඩිය.
මෙම සිද්ධිය යුරෝපය පුරා පුවත්පත්වලද දැන් වාර්තා කර තිබෙන අතර මෙමගින් ලංකාවේ ගුවන් සේවාවන් ගැන වැරදි චිත‍්‍රයක් ප‍්‍රචාරයවීමෙන් සංචාරක කර්මාන්තයටද හානියක් සිදුව ඇත.
ඇදවැටුණ කපිතාන්වරයාගේ සිද්ධියත් සමග ඇති වූ ප‍්‍රමාදයෙන් පසුව රාත‍්‍රී කාලයේ පැමිණි ගුවන් යානයෙන් නොපැමිණි අතර ඔහු පසුව ලංකාවට පැමිණෙන බවට තොරතුරු තිබේ.