හම්බන්තොට තරුණයා
අතුරුදන් වුණාද?
පොලිසිය අතුරුදන් කළාද?


පසුගිය  පස් වෙනිදා පස්වරුවේ  හම්බන්තොට පොලිසිය මගින් වී සොරකමක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත් තරුණයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු එදින සිට මේ වන තෙක් සතියක් තිස්සේ අතුරුදහන් වී ඇත.
ප‍්‍රදේශයේ පුද්ගලික වී ගබඩාවකින් වී මළු 12ක් සොරකම් කළා යයි සැකපිට හම්බන්තොට පොලීසිය මගින් 19,20 හා 25 හැවිරිදි වියේ පසුවූ බඳගිරිය වැලිගත්ත ප‍්‍රදේශයේ පදිංචි මේ තරුණයත් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අය අතරින් අතුරුදන්ව ඇත්තේ ජී.ජී. ගයාෂාන් නමැති 20 හැවිරිදි වියේ තරුණයාය. මේ තරුණයන් තිදෙනාගෙන් එක් අයෙකු පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු බවද පැවසෙන අතර අතුරුදන් තරුණයා සොරකම සිදුවූ බව කියන මෝලට මීටර් සියයක පමණ දුරින් පිහිටි නිවසක
වාසය කරන්නෙකි.
තරුණයා සමග පොලිසියට ගිය අනෙක් තරුණයෙකු කියන්නේ තමාට වරද පිළිගන්නා ලෙස බලකරමින් පහරදෙමින් පොලිසිය එදා හැසිරුණ බවයි. එදා ගයේෂාන් උදරාබාධයක් නිසා පොලිසියේදී වැසිකිලියට ගෙනයද්දී පැනයාමෙන් අතුරුදන්වූ බවද පොලිසිය පසුව දන්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන්  අදහස් දක්වන අතුරුදහන් තරුණයාගේ මව වන ආර්.සී.මැන්සිනා මහත්මිය මෙලෙස කියා ඇත.
‘පසුගිය 05 වෙනිදා සවස පුතා මාලූ ගේන්න වැව පැත්තට යනවා කියලා ගියා.නැවත ගෙදර එන්න පරක්කු නිසා මං පුතාට කෝල් එකක් දුන්නා.ඒ වෙලාවේ පුතාගේ ෆෝන්  එකෙන් වෙන කෙනෙක් කතා කලේ.ඒ කතා කල කෙනා ඇහුවා මම  කවුද කියලා.මම කිව්වා  ගයාෂාන්ගේ අම්මා කියලා.ඊට පස්සේ පුතාගෙ ෆෝන්  එකෙන් කතා කල කෙනා කිව්වා පුතා පොලිසියට අරන් යනවා.අම්මා පොලිසියට ඇවිත් බලන්න කියල.ඇයි ගෙනියන්නේ ඇහුවට කිව්වේ නෑ.


පසුව මගේ ලොකු පුතයි බෑනයි දෙන්නා රාත‍්‍රියේම  පොලිසියට ගියා.ඒ යනකොට පුතා පොලිස් කූඩුවේ මංචුත් දමලා හිටියාලූ. ඊට පස්සේ ලොකු පුතා කූඩුවේ හිටිය පුතාට රෑ කෑමත් ගිහින් දි ඇවිත් තිබුණා.නමුත් උදේ පොලීසියට ගිහින් බලන විට පුතා කූඩුවේ හිටියේ නෑ.අනිත් දෙන්නා විතරයි හිටියේ.ඒ දෙන්නගෙන් ඇහුවම පුතා කෝ කියලා ඒ දෙන්නත් දන්නේ නෑ කියලා.අපි පොලිසියෙන් ඇහුවා පුතා කෝ කියලා.එතකොට පොලීසියේ අය කිව්වා රෑ ටොයිලට් යන්න  ඕනේ කියලා කිව්වම එළියට ගත්තා.ඒ වෙලාවේ පැනලා ගිහින් කියල.අපිට මේ කියන කතාව කිසිසේත්ම විශ්වාස කරන්න බෑ.
අනික අත්අඩංගුවට ගන්න තරම් වරදක් පුතා කරලා නෑ කියලා අපි දන්නවා.රෑ ලොකු පුතා ගියාම කියලා තිබුනා එයාට පොලීසියෙන් හොදටම ගැහුවා කියලා.අපි මේ සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී තුමාටත්  පැමිණිළි කළා.නමුත් මේ වෙනකම් අපිට කිසිදු සාධාරණයක් නෑ.’

අතුරුදහන් තරුණයාගේ වැඩිමල් සොයුරු ජී.ජී.රොෂාන් කුමාර මෙසේ කියයි.
‘මම මල්ලි බලන්න පොලිසියට ගියාම මල්ලි මට කිව්වා එයාට පොලිසියෙන් හොදටම ගැහුවා කියලා.ඊට අමතරව අම්බලන්තොට පොලීසියේ සාජන් මහත්තයත් ඇවිත් මල්ලිට ගහලා මේ වරද බාරගනින් කියලා.
උදේ පොලිසියට යනකොට රෑ පොලිස් කූඩුවේ හිටිය තුන්දෙනාගෙන් දෙන්නයි හිටියේ මල්ලි කූඩුවේ පේන්න හිටියේ නෑ.අපි ඒ දෙන්නගෙන් ඇහුවා මල්ලි කෝ කියලා.ඒ අය කිව්වා දන්නේ නෑ කියලා .
අපි පොලිසියෙන් මල්ලි කෝ කියලා  ඇහුවම පොලිසියේ අය එක එක සැරේට එක එක දේ කියනවා.මල්ලි පොලිස් කුඩුවේ හිටියා කියලා මං ඇස් දෙකෙන්ම දැක්කා.එහෙම තියෙද්දි පොලිසියෙන් කියනවා එහෙම කෙනෙක් අත් අඩංගුවට ගත්තේ නෑ කියලා.වෙලාවකදි කියනවා කූඩුවේ ඉදලා ටොයිලට් යන්න කියලා ගිහින් පැනලා කියලා.
අපිට තේරෙන්නේ නෑ මල්ලිට මොකද වුනේ කියලා.මල්ලි පැනලා ගියා නම් යන්න ඔනේ ඥාති ගෙදරකටයි.මල්ලි කොහෙවත් නෑ.අපි හැම තැනම හොයලා බැලූවා.අපි කියන්නේ අපේ මල්ලිට මොකද වුනේ කියලා හොයලා දෙන්න කියලයි.
අනිත් එක තමයි අත්අඩංගුවට පත් තුන්දෙනාගෙන් මගේ මල්ලිටයි සංජීව ප‍්‍රභාත්ටයි තමයි පොලිසියෙන් ගහලා තියෙන්නේ.
ඒ මල්ලිටත් අමාරුවෙලා  හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර කරා.නොකරපු වරදක් වෙනුවෙන් වරද බාරගන්න කියලා පොලිසියෙන් මල්ලිට හොදටම ගහලා තියෙන්නේ.’


සිද්ධියෙන් දින 6 ක් පමණ ගතවනතුරු පොලිසිය මේ ගැන නිහඬ ප‍්‍රතිපත්තියක සිටි අතර ඊයේ වාර්තා වූයේ හම්බන්තොට පොලිස් අත්අඩංගුවේ සිටියදී අතුරුදන් වූ තරුණයා සොයා පොලිස් කණ්ඩායමක් 4 ක් යොදවා ඇති බවකි.
අදාළ, සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් විශේෂ විමර්ශනයක් සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු 5 දෙනෙකුට මේ වනවිට ස්ථාන මාරුවිම් ලබාදී තිබේ.

තොරතුරු - අජිත් පුෂ්පකුමාර