මෙරට නිපදවන සෑම සිගරැට්ටුවකින්ම රුපියල් විස්සක විශේෂ බද්දක් අය කිරීම මගින් වැට් බදු ආදායම අය
නොකර රජයට අවශ්‍ය ආදායම සොයා ගැනීමට හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල
ගුණවර්ධන මහතා පැවසීය.



ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය බත්තරමුල්ල නෙළුම් පෙදෙසේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ පෙරේදා (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව
සඳහන් කළේය.
වර්ෂයකට මෙරට තුළ සිගරැට් මිලියන හාරදහස් එකසියයක් නිපදවන බවද ඒ අනුව වර්ෂයකට රුපියල් බිලියන
අසූදෙකක බදු ආදායමක් උපයා ගැනීමට හැකියාව පවතින බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


මෙම සංඛ්‍යා දත්ත සලකන විට මෙරට ජනතාව මත වැට් බදු පැනවීම නවතා දමා සිගරැට් මත බදු
පැනවීම මගින් රජයට අවශ්‍ය බදු ආදායම සලසාගෙන සමාජයට විශාල සේවයක් සිදු කළ හැකි බවද
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
“ජනාධිපතිවරයාට මුදල් ඇමැතිවරයා කැඳවා මෙම නියෝගය ලබා දෙන්න හැකියාවක් පවතිනවා. මේ
නිසා කුඩා ව්‍යාපාරිකයන්ට බදු පනවන්නේ නැතිව නිෂ්පාදන විධිවිධාන බද්ද මගින් විශේෂ වෙළෙඳ භාණ්ඩ
බද්දක් පනවන්න පුළුවන්.

අද වෙනකොට සිගරැට්වලින් බිලියන අසූවක ආදායමක් ලැබෙනවා. ඒ නිසා නව බද්ධ එක්ක රුපියල් බිලියන
එකසිය හැට දෙකක මුදලක් ලැබෙනවා.
-නුවන් සේනාරත්න