බාල වයස්කාර දිළිඳු ළමයින් තිදෙනකු දින දෙකක් තුළ වරින්වර ලිංගික අපයෝජනයට ලක්කළ බවට දෙහිවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ වෙළෙඳසල් හිමියකු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය විසින් ලබන 21 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියෝග කළාය.


දෙහිවල ප්‍රතිබිම්බාරාම පාරේ වෙළෙඳසලක් පවත්වාගෙන යනු ලබන ලුහසපාල විතානවසම් නමැති 63 හැවිරිදි සැකකරුවකු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.



ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහය එකොළහ හා දාහතර යන වයස්වල ළමයින් තිදෙනකු මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කර තිබිණි.
මේ ළමයින් පසුගිය පස් වැනි (5දා) දින සැකකරුගේ වෙළෙඳසල වෙත ගිය අවස්ථාවේ ඔහු විසින් ළමයින්ට කෙටි කෑම සහ බීම ලබාදී පසුව වෙළෙඳසල තුළදීම තිදෙනාට ලිංගික අතවර කර ඇත. හය වැනි දින මෙම සැකකරු නැවැතත් ළමයින් වෙළෙඳසල වෙත කැඳවා ඔවුන්ට ලිංගික අතවර කරන අවස්ථාවේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලබාදෙන ලද දුරකතන ඇමැතුමකට අනුව පොලිසිය වෙළෙඳසල වටලා ඇත. ඒ අවස්ථාවේ මොහු එක් ළමයකුට ලිංගික අතවර කරමින් සිට ඇත.
එම අවස්ථාවේ සැකකරු සහ ළමයා අත්අඩංගුවට ගෙන ඇති අතර ළමයාගේ ප්‍රකාශ අනුව අනෙක් ළමයින් දෙදෙනාද පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබිණි.

ආනන්ද වීරසූරිය