බඳගිරියේ ගයාෂාන්
හැංගෙන්න ගිය නෑදෑ ගෙවල් තුනකින්
එළවගෙන‍

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු අතුරුදන් වූ බවට ආරංචි පැතිරී පසුව සැගව සිටියදී පොලිසියට භාරවූ බඳගිරියේ ගයාෂාන් නමැති තරුණයා කොළඹ පොලිස් මූලස්ථානයට භාර වීමෙන් පසු ඔහු පිලිබද අසත්‍ය වාර්තා සපයමින් පොලිසිය හා මහජනයා නොමග යැවීම ගැන පවුලේ හා ඥාති හිතවතුන්ට එරෙහි පරීක්ෂනයක් දැන් අරඹා තිබේ.

ඒ අනුව තරුණයා පොලිසියෙන් පළායාමෙන් පසුව දින 10 ක් තිස්සේ බෙලිඅත්ත, කම්බුස්සාවල, වීරකැටිය ප්‍රදේශවල ඥාතීන්ගේ නිවෙස් තුනක
නැවතී හතරවෙනුව හිමිනමක් මාර්ගයෙන් පොලිසියට පැමිණි බව සොයාගෙන ඇත.

මුලින්ම රැඳී සිටි වීරකැටිය, කපුගම්පොත ප්‍රදේශයේ පදිංචි ගයාශාන්ගේ පුංචිඅම්මා කෙනකු වන රත්නප්පුලිගේ සිරියාවතී පොලිසියට මෙසේ ප්‍රකාශ කර ඇත


 'ගයාශාන් පොලිසියෙන් පැනලා එන දවසේ උදේ මම පොළේ ගිහින් හිටියේ. මම හවස තමයි ගෙදර ආවේ. මම එනකොට ළමයා ඇවිල්ලා හිටියා. මම මේ සිද්ධි දන්නේ නෑ. වෙනදත් එන නිසා මම හිටියා. හවස ගයාශාන්ගේ අක්කා නිමාලි ඇහුවා ගයාශාන් ආවද කියලා. මම ඇහුව්වා මොකද ප්‍රශ්නේ කියලා. එයා කිව්වා ගෙදරින් තරහ වෙලා ඇවිල්ලා කියලා. පොලිස් කතන්දරයක් එතකොට මම දන්නේ නෑ. දවස් දෙකකට පස්සේ මේ ප්‍රශ්නේ ප්‍රවෘත්තිවලට කිව්වා. ඊට පස්සේ ගයාශාන්ගේ එස්.ටී.එෆ්. එකේ ඉන්න අයියයි, අනෙක් අයියයි අපේ ගෙදර ආවා. මම කිව්වා ප්‍රශ්නයක් වෙලා නම් මෙහෙ ඉන්න එක හොඳ නෑනේ ඒ නිසා මෙයාව ගිහින් බාර දෙන්න කියලා. ඊට පස්සේ එයාලා උදේ එක්කන් ගියා.‘

රටම කැලඹී සිටියදී ගයාශාන් තම සොහොයුරන් දෙදෙනා සමඟ ඊළඟ නවාතැන් පොළ ලෙස තෝරා ගෙන ඇත්තේ බෙලිඅත්ත කම්බුස්සාවල පදිංචි ඥාති නිවෙසකි.
එහි  හිමිකරු පොලිසියට ප්‍රකාශ කර සිටියේ ගයාසාන් එනවිට තමන් නිවෙසේ නොසිටි බවත් කතරගම ප්‍රදේශයේ රැකියාවකට ගොස් සිටි අවස්ථාවේ ඔහු නිවෙසට පැමිණ ඇති බවත්ය. නිවෙස් හිමිකරුගේ බිරිය වන සුමනා මහත්මිය මෙසේ කියා ඇත.
‘මේ ළමයා මගේ නෑනාගේ පුතා. ළමයා අපේ ගෙදර ආවා. මම කන්නත් හදලා දුන්නා. දවසක් දෙකක් ඉන්නකොට මම ඇහුව මොකද ඔය ළමයා මෙහෙ ඉන්නේ කියලා. එයා මුකුත් කිවුවේ නෑ. ටී.වී. එකෙන් මම විස්තර දකිනකොට මේ ළමයා බව මම දැනගත්තා. මම කිව්වා යන්න කියලා. ඒත් ගියේ නෑ. අපි අමාරුවේ දාන්න නැතිව යන්න කියලා මම සැර කරලා කිව්වා යන්න කියලා. පසුව මගේ මහත්තයා මෙයා එක්කරගෙන ගියා.‘



මේ ආකාරයෙන් බෙලිඅත්ත කබ්බුස්සාවල නිවෙසින් පිටවූ ගයාශාන් නමැති තරුණයා පසුව යන්නේ බෙලිඅත්ත දෙද්දුවාවල ඔහුගේ බාප්පා කෙනකුගේ නිවෙසටය. ඒ ඔහු අවසාන වරට රැඳී සිටි ස්ථානයද වේ. දින දහයක් මේ ආකාරයෙන් රැඳී සිටි ගයාශාන් පසුගිය 15 වැනිදා දික්වැල්ලේ දීඝවාළුකාරාම විහාරයට ගොස් තිබේ. එම විහාරයේ අඹකොළවැව බුද්ධික හිමියන් මගින් පොලිසියට භාර විය.

පොලිසිය පහරදීම නිසා තරුණයා මියයන්නට ඇති බවට ඥාතීන් සිදු කරන ලද ප්‍රකාශ මාධ්‍ය මඟින් පළවීම මත, හම්බන්තොටින් අතුරුදන් වූ තරුණයාගේ සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්ෂණ පුළුල් කෙරිණි. මානව හිමිකම් සංවිධාන පවා මෙම සිද්ධිය සම්බන්ධව තොරතුරු සොයන්නට විය.
පවුලේ ඥාතීන් ගයාශාන් නමැති සැකකාර තරුණයා එසේ අතුරුදන්වී ඇති බවට පොලිසියට හා මාධ්‍යයට ප්‍රකාශ කළත් ඔවුන් සියල්ල සගවාගෙන දරුවා ආරක්ෂා කරන්නට බොරුවක් මවා පා ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පොලිසිය ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නට නියමිතය.