විදුහල්පති කාර්යාලයේදී දාහතර හැවිරිදි පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට පන්නල මහ විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව රුවන්වැල්ල පොලිසිය පවසයි.

මෙසේ අතවර කිරීමේ සිද්ධියට ලක්වී ඇත්තේ එම විදුහලේ දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියකි. මේ සිසුවිය එම පාසලේ සිසුවකු සමඟ සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ පන්ති භාර ගුරුතුමිය
විදුහල්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා සිසුවිය විදුහල්පති කාමරයට කැඳවා ඇත. එහිදී විදුහල්පතිවරයා විසින් සිසුවියට අතවර කර ඇත. එයින් නතර නොවූ විදුහල්පතිවරයා මේ දැරියට අපල කාලයක් උදා වී ඇති බව පවසා දන්න අඳුනන කපු මහතකු හමුවීමට යෑම සඳහා ආරාධනා කර ඇත. දැරිය එම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර පැමිණ ඇත.


නැවත ඊට පසු දින විදුහල්පතිවරයා නිවාඩු දමා සිසුවිය පාසල් ඇරී එනතුරු අඟුරුවැල්ල නගරයට වී සිට ඇති අතර සිසුවිය පැමිණි පසු දේවාලයකට යෑම සඳහා නැවත ආරාධනා කළ අවස්ථාවේ සිසුවිය මේ පිළිබඳ අඟුරුවැල්ල නගරයේ ඥාතියකුට පැවැසීමෙන් අනතුරුව ඔවුන් මේ සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. විදුහල්පතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පැමිණිල්ලට අනුවය. අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.

පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට භාජන කිරීම සඳහා කරවනැල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය පිළිබඳව රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක බෝදරගම, කාන්තා පොලිස් සැරයන් විජිතා (587) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සීතාවක - අරන්දර දිසානායක