ඔෆිස් එකේ විශ්වාසවන්තම සේවකයා මුල්වී
කප්පම් ගන්න ගිහින්

සුලෙයිමාන් අහම්බෙන් මැරුම් කෑ හැටි


පසුගියදා පැහැරගැනීමට ලක්ව පසුව ඝාතනයවූ බම්බලපිටිය රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් (29) සම්බන්ධ සිද්ධියට වගකිව යුත්තේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ ගණකාධිකාරවරයා බව අප මින් ඉහත හෙළි කළා.
මොහොමඞ් අස්ලාම් හෙවත් පසීර් නමැති ඔහු රඳවාගෙන සිදු කරන ප‍්‍රශ්න කිරීම් අනුව මෙම පැහැර ගැනීම සිදු කළ ආකාරයත් අහම්බෙන් ඝාතනය සිදුවූ ආකාරයත් පිළිබඳ සම්පූර්ණ විස්තරය මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
සුලෙයිමාන්ගේ ව්‍යාපාරික ස්ථානයේ
මුදල් කටයුතු භාරව සිටි පසීර් ඔහුගේ විශ්වාසවන්තම සේවකයා වූ අතර එම දෙදෙනා අතර සමීප මිත‍්‍රත්වයක්ද තිබී ඇත. අලූත විවාහවූ පසීර්ට මුදල් අවශ්‍යතා රැසක් පැනනැගී තිබුණත් ඒවා ඔහුට ලැබෙන වේතනයෙන් පිරිමසා ගැනීම අමාරුවී ඇත.
සුලෙයිමාන් අවස්ථා කිහිපයකදීම ඔහුට උදව් කරන්නට ඉදිරිපත්ව තිබීද ඇත. ඔහුගේ විවාහ උත්සවය අවස්ථාවේ ලක්ෂ 5 ක මුදලක් හා ගමන් කිරීමට වාහනයක්ද සුලෙයිමාන් සපයා තිබුණ අතර මෙම ඝාතනයට පසීර්ට සහාය දුන් ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ තවත් අයෙකු වන රිසාඞ් පසුගියදා කැළණි ගඟ පිටාර යාමෙන් ඇතිවූ ආපදා තත්වයටද මුහුණපෑ අවස්ථාවේ තවත් ලක්ෂ 5 ක පරිත්‍යාගයක් ඔහුට කර තිබුණි.
කළ හොඳ පස්සෙන් එළවන්නා සේ අවසානයේ පසීර් හා රිසාඞ් කප්පම් ගන්නට කල්පණා කළේද තම ස්වාමියා පැහැරගෙනයි.
මෙම පැහැරගැනීම සඳහා මාස 2 ක් තිස්සේ පසීර් සැලසුම් සකස් කර ඇති බව පාපොච්චාරණය කර ඇත. ඒ සඳහා මදාවියන් ආශ‍්‍රය කරන ඔහුගේ මිතුරු සහායක රිසාඞ් මදාවි කණ්ඩායමක් හඳුන්වාදී ඇත. පෑලියගොඩ මාළු මාකට් එකේ සේවකයින් පිරිසක්,පිටකොටුවේ නාට්ටාමිලා පිරිසක් සහ ත‍්‍රීරෝද රියදුරෙක් මෙම 7 දෙනාගේ කණ්ඩායමේ සිට ඇත.
සුලෙයිමාන් පැහැරගෙන ගොස් කෑගල්ල රඹුක්කන ප‍්‍රදේශයේ ස්ථානයක රඳවා තබාගෙන කප්පම් ඉල්ලීම ඔවුනගේ සැලසුම වී තිබේ. ඒ අනුව රඳවා ගන්නා ස්ථානයේ තිදෙනකු යොදවා ඇත.
කල් ඇතිව සැලසුම් කළ පරිදි වාහන කුලියට ලබාගන්නා ස්ථානයකින් රුපියල් 43000 ක් ගෙවා වාහනයක් ලබාගත් ඔවුන් 

පස් දෙනෙකු සිද්ධිය සිදුවූ දිනයේ සවස සුලෙයිමාන් මංගල උත්සවයක් නිමකර නිවසට පැමිණෙන තුරු නිවස අසළ මග රැක බලා සිට ඇත්තේ ඔහු අල්ලාගෙන වාහනයට දමා ගන්නටයි.
බම්බලපිටියේ මුහුදු වෙරළට සමීප මාර්ගයක සුපිරි නිවසක වාසය කරන සුලෙයිමාන් සිය වාහනයෙන් නිවසට පැමිණ නතර කරන අවස්ථාවේ වාහනය අසළට පැමිණ පුද්ගලයින් දැක වික්ෂිප්තවී තිබේ. තමාව අල්ලන්නට කොල්ලකරුවන් පැමිණ ඇතැයි සැකකළ සුලෙයිමාන්
බියට පත්ව වාහනයේ දොර හැරගෙන  පළායන්නට තැත් කර ඇත.
එම අවස්ථාවේ දොර අසළ සිටි අයෙකු අතදමා ඔහුව සිරකරන්නට වෑයම් කළත් එම අත වැරෙන් තල්ලූ කර ගසා දමා එතැනින් පිටතට පළායන්නට සුලෙයිමාන් සමත්වී ඇත.
ඔහු එසේ වෙරළ දෙසට දිවයද්දී කප්පම් කරුවන් ඔහු පසුපස ආයුධද අතදරාගෙන දිවවිත් තිබේ. අවස්ථා දෙකකදී පමණ පොර බදා පළායන්නට සුලෙයිමාන් උත්සාහ කර තිබූ අතර ඔහු මෙල්ල කරන්නට පිරිසේ සිටි එක් අයෙකු මන්නයක මිටකින් ඔහුගේ හිස පසුපසට පහර එල්ල කළ නිසා ඔහු ඇදවැටී ඇත. එම අවස්ථාවේ ඔවුන් දුර්වලව වැටුණ සුලෙයිමාන්ව වාහනයේ දමාගෙන පිටත්වී ඇත.
සුලෙයිමාන් නිවස අසළ පිරිසක් සමග පොරබදන ආකාරය නිවසේ සිටි ඔහුගේ බිරිය දැක තිබුණ අතර ඇය වහා මේ ගැන පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පරීක්ෂණයක්ද ඇරඹුණි.
හිසේ නරක තැනකට වැදුණු පහර නිසා වාහනයේ දමාගෙන යද්දී සුලෙයිමාන්ට අමාරුවී තිබේ. ඔහු අවස්ථා කිහිපයකදීම වාහනය තුළදී වමනය කර ඇත.
වාහනය පදවාගෙන ගිය නුවර පාරේ ස්ථාන කිහිපයකම නතර කරමින් ඔහුට සත්කාර කරන්නට කප්පම් කරුවන්ට සිදුව ඇති නමුත් එන්න එන්නම ඔහුගේ තත්වය දරුණුවී තිබේ. රෝහල් ගත කරොත් සියල්ල හෙළිවන නිසා ඔහුව කෙසේ හෝ රඹුක්කනට රැගෙන ගොස් එහිදී ප‍්‍රතිකාරයක් ලබාදීම ඔවුනගේ අරමුණ වී ඇත.
නමුත් අවාසනාවන්ත ලෙස පැය දෙකකට පමණ පසුව සුලෙයිමාන් වාහනය තුළදීම මියගොස් තිබේ. ඔහු හුස්ම ගැනීම නතර කර ඇති බව දැනගත් පසු පසීර් කලබලවී ඇති අතර වැඬේ ගැස්සී ගිය නිසා පහර දුන් අයට බැණවදිමින් කලබලයක්ද කර ඇත.
සැලසුමේ ආකාරයට මුදල් කප්පම ලබාගන්නා තුරු සුලෙයිමාන් මරදමන්නට

ඕනෑකමක් නොතිබූ බැවින් සැලසුම අවුල්ව යාම ගැන ඔහු කලබලවී ඇත.
පසුව තීරණය කර ඇත්තේ රඹුක්කන රඳවා තැබූ මදාවියන්ට මෙම මරණය හෙළි නොකර ඔවුන් ලවා සුලෙයිමාන්ගේ පියාට ඇමතුම්දී කප්පම ලබාගන්නටය.
මේ අවස්ථාවේ හෙම්මාතගම අසළ පාළු ප‍්‍රදේශයකට වාහනය පදවන ලෙස උපදෙස් සැපයූ පසීර් හෙළක් අසළ වාහනය නතර කර සුලෙයිමාන්ගේ මළ සිරුර එතැනින් පහළට විසි කරන්නට උපදෙස් දී ඇත. මියගිය සුලෙයිමාන්ගේ සාක්කුවේ තිබුණ ජංගම දුරකථනයද ගලකින් තලා කැලයට විසි කළ ඔවුන් සාක්ෂි සොයාගන්නට බැරිවන්නට ඇඳුම් ආදිය පුළුස්සා දමා ඇත.
අනතුරුව හිස් අතින් එම ප‍්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට පැමිණි පිරිස ඇඳුම්මාරු කරගෙන ඇත. කුලී රථය එක් අයෙකුට පැවරූ පසීර් එය රඹුක්කන අනෙක් තිදෙනා සිටින නිවස වෙත පදවා යන ලෙස උපදස් දී නැවත කොළඹ එන්නට පිටත්ව ඇත්තේ බස් රියකිනි. සැලසුමේ හැටියට පසුදා සේවයට වාර්තා නොකළොත් සැකයක් ඇතිවිය හැකි නිසා පසීර් එලෙස කොළඹ ඇවිත් රැකියාවටද පසුදා වාර්තා කර තිබේ.
රඹුක්කන අයට දන්වා ඇත්තේ සුලෙයිමාන් පැහැරගෙන ඇවිත් වෙනත් තැනක රඳවා තිබෙන බවකි. දෙවන අදියරවූ කප්පම් ලබාගැනීමේ කාර්යය සිදු කරන ලෙස පසීර් ඔවුනට නියෝග නිකුත්කර ඇත්තේ සුලෙයිමාන් මියගිය බව සඟවමිනි.
ඒ අනුව පසුදා උදෑසන කෑගල්ල ප‍්‍රදේශයේ කොමියුනිකේෂන් එකකට ගොඩවැදුණ එම පිරිස සුලෙයිමාන්ගේ පියාට ඇමතුමක්දී කෝටි දෙකක කප්පම ඉල්ලා ඇත.
ඒ වනවිටත් සුලෙයිමාන්ගේ පැහැරගැනීම ගැන ජනමාධ්‍ය ඔස්සේ විශාල ප‍්‍රසිද්ධියක් ලැබී තිබුණ අතර මෙම ඇමතුම ලබාදුන් ස්ථානය ගැනද පොලිස් ඇස යොමු විය.
මෙම ඝාතකයන් කොටුවූ තැන වූයේද එම කොමියුනිකේෂන් එකයි. එයට යාබදව තිබුණ ව්‍යාපාරික ස්ථානවල සීසීටීවී කැමරා ඔස්සේ පොලිසිය කළ විමර්ශන සාර්ථකවූ අතර එම වේලාවේ එම ස්ථානයේ සිටි අය හා නතරවූ වාහන ගැන පොලිස් පරීක්ෂණ ප‍්‍රගතිදායක තොරතුරු හෙළි කර තිබුණි.
ඒ ඔස්සේ මුලින් සැකකරුවන් කිහිප දෙනෙකුද පසුව කණ්ඩායමද කොටු කරගන්නට පොලිසිය සමත් විය. පොලිස් අත්අඩංගුවට පත් ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.