අමල් පෙරේරා ඉස්සුවැයි සැකකළ
සුදු කැස්බෑවා මරාදාලා -  සිරුර දික්වැල්ලෙන් ගොඩගැනේ

පසුගිය 2013 වසරේ කොස්ගොඩ කැස්බෑවන් ඇති කරන මධ්‍යස්ථානයකින් සුදු කැස්බෑවකු සොරාගැනීමේ සිද්ධියට ප්‍රකට ගායක අමල් පෙරේරා සම්බන්ධ බවට රාවයක් එකල පැතිරුණ අතර ඒ නිසා ඔහුට මාධ්‍ය ඉදිරියේ උත්තර බඳින්නටද සිදු විය.
පසුව සැක ඇතිවූයේ එම කැස්බෑ හිමිකරුම එය හංගා ඇති කතාවක් ගැනයි.
නමුත් මෙම කැස්බෑ සොරකම ඇත්තටම සිදුව ඇති බවත් එය මෙහෙයවා ඇත්තේ යුද සමයේ වසර ගණනාවක් කොටි අත්අඩංගුවට පත්ව සිට පසුව නිදහස් වී විශ්‍රාම ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදොරු අජිත් බෝයගොඩ සහ පාතාල සාමාජිකයන් තිදෙනකු බවත් මෑතකදී හෙළි වූයේ අහම්බෙනි.
පසුගියදා කොළඹ ආදුරුප්පු වීදියේ
රුපියල් කෝටි 3 1/2ක රන් බඩු කොල්ලයට අදාළව ආමි සම්පත් ඇතුළු සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සහ බොරලැස්ගමුවේදී ඝාතන දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම අබිරහස් සිද්ධිය හෙළිදරව් වී ඇත. අජිත් බෝයගොඩ සහ පාතාල සාමාජිකයන් තිදෙනකු සම්බන්ධවූ මෙම හොරකම සිදු කරදීම වෙනුවෙන් ගාස්තුව වී ඇත්තේ


 රුපියල් හැට දහසක් බවද අනාවරණය වී තිබේ.

එම සැකකරුවන් පොලිස් අපරාධ කොට්ඨාසය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන  බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන මස 2දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

සැකකාර බෝයගොඩ විශ්‍රාම යෑමෙන් පසු සුරතල් මසුන් අලෙවි කිරීමේ මහා පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී මාලදිවයිනේ ව්‍යාපාරික පිරිසක් සමඟ මෙම සුදු කැස්බෑවා රුපියල් කෝටි දහයකට අලෙවි කිරීමට ගිවිසගෙන සිටි බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අතුරුදන් වූ බව කියූ සුදු කැස්බෑවා මරා දමා ඇති බවට තහවුරු කරගෙන තිබෙයි.
සුදු කැස්බෑවාව මරා වළ දැමුවේ යයි කියන දික්වැල්ල පිහිඹිය ප‍්‍රදේශයේ ස්ථානය සැකකරුවන් හෙළිදරව් කිරීමෙන් පසුව
සුදු කැස්බෑවාගේ සිරුරු කොටස් ඊයේ (29) පිහිඹිය ප‍්‍රදේශයේ පිහිටි පාළු ළිඳක තිබියදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ හා වන සත්ව සංරක්ෂණ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සොයා ගත්තා.
මෙම සුදු කැස්බෑවා පැහැර ගැනීමට දික්වැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරයෙකු ද සම්බන්ධ බවට මේ වනවිට අනාවරණයවී පවතින අතර සිදු කරන පරීක්ෂණ අනුව ඊයේ තවත් සැකකරුවෙකු අල්ලාගෙන ඇත.