ගල්කිස්ස අධිකරණය විසින් කල් ඉකුත් වූ බෙහෙත් අලෙවි කිරීමට ගබඩා කර තිබූ බවට හඳුනාගනු ලැබ සීල් තබා තිබූ රත්මලාන අත්තිඩිය පාරේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් බෙහෙත් ගබඩාවක් ඊයේ (06දා)
උදෑසන ගිනිගෙන විනාශ වීම සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව ගල්කිස්ස පොලිසිය දන්වා සිටී.
පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත එය පරීක්ෂාවට ලක් කර බැලීමේදී ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ බෙහෙත්
හඳුනාගෙන 2014 වර්ෂයේ නඩුවක් පැවැරීමෙන් අනතුරුව අධිකරණය විසින් ගබඩාව සීල් කර ඇත.
පසුව එම සමාගම විසින් එයට එරෙහිව මහාධිකරණයේ නඩුවක් පවරා පසුව එය ඉල්ලා අස් කරගෙන තිබූ අතර අද (07දා) එම නඩුව ගල්කිස්ස අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබිණි. මෙම ගින්න සිදුවූයේ ඒ අතරේය.
රත්මලාන, අත්තිඩිය පාරේ දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගබඩාවේ හටගත් ගින්න නිසා අදිකරණ භාන්ඩ බවට පත්ව තිබුන ඖෂධ ඇතුළු දේපළ වලට දැඩි අලාභ සිදුව ඇත.
කොළඹ-මොරටුව නගර සභා ගිනි නිවීම් ඒකක හා ගුවන් හමුදා ගිනි නිවීම් ඒකකයද ගෙන්වාගෙන ගිනි රථ 10ක් සමඟ ගිනි භටයන් 40ක් පමණ දැඩි වෙහෙසක් දරා ගින්න අවට පැතිර යෑමට ඉඩ නොදී ගින්න පාලනය කිරීමට සමත්වූ අතර
12 පමණ වන තුරුත් එය සම්පූර්ණයෙන් නිවා දැමීමට නොහැකි වී තිබිණි.
මෙම ගින්න ඇති වීමට හේතුව හා සිදුව ඇති අලාභය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. දෙහිවල, ගල්කිස්ස නගර සභා ගිනි නිවීම් ඒකකය හා ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ සිදු කරයි.