දෙමාපියන්ට නොසැලකූවන් ගැන
වැඩිහිටි දිනය දා ඇසුණ කතා තුනක්

ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය පෙරේදා (01) යෙදී තිබිණි. මෙවර ලෝක වැඩිහිටි දිනය සැමරීමේ ලංකාවේ තේමාව වී තිබුනේ වැඩිහිටි අයිතිවාසිකම් සුරකින හෙටක් යනුවෙනි.
මෙලෙස වැඩිහිටි දිනය සැමරෙන මොහොතක ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ විහාරස්ථානයක දමා ගිය පියෙකු ගැනත් පොළොන්නරුවේ මහමග දමාගිය තවත් පියෙකු හා මනම්පිටියේ නිවසක තනිකර ගිය මවක ගැනත් දුක්බර කතා අසන්නට ලැබුණි.
ගාල්ල - උඩුගම මාර්ගයේ වලහන්දුව දෙහිගහවිල විහාරස්ථානය ඉදිරිපිට
මාර්ගයට පසුගියදා (30දා) සවස ඉහතකී මහලු පුද්ගලයා රැගෙනවිත් දමා ඉතා දුර්වලව මාර්ගය අයිනේ නිර්වස්ත්‍රව වැතිර සිටි බව වාර්තාවේ. මෙම පියාණන් සතුව තිබූ ඇඳුම් බෑගයක්ද ඔහු වැටී සිටි ස්ථානයක තිබී සොයාගෙන තිබිණි. ඔහුව දුටු ප්‍රදේශවාසීන් විහාරස්ථානයේ මඟපෙන්වීම මත පොලිස් හදිසි ඇමැතුම් අංකයට (119) දුරකතන ඇමැතුමක් ලබාදී ගිලන් රථයකින් කරාපිටිය රෝහලට යැවීමට කටයුතු යොදා තිබිණි.

මෙලෙස රෝහල්ගත කළ වයස්ගත පුද්ගලයා සිය අපහසුතාව පැවැසීමට තරම් සිහිකල්පනාවක් නොතිබූ අතර ඔහු අවුරුදු 85-90 අතර වයසේ පසුවන බව වාර්තා විය.


මෙම ඉහළ ඡායාරූපයේ සිටින පියා දැන් මාස ගණනක සිට පොළොන්නරුව මනම්පිටිය සිංහල මහා විදුහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ බස් නැවතුම්‍පොළක දිවි ගෙවන්නේය.

දරුවන් තුන් හතර දෙනකු දැඩි වෙහෙස මහන්සියකින් ඇති දැඩි කළ මේ පියා නුවර ප්‍රදේශයේ සිට පැමිණි අයෙකු බවත් දරුවන් නොසලකන බවත් ප්‍රදේශවාසීහු කියති.
ඔහු කිසිවෙක් සමග තමන්ට වූ දේවල් කතා නොකරන්නේ තම දරුවන්ගේ ගෞරවයට හානි වේයැයි සිතාය.

ඔහුගෙන් දරුවන් ගැන ඇසූ විට දෑස්වලින් කඳුළු කැට රූරා වැටේ.අවට  මිනිසුන්ගෙන් ලැබෙන කුමක් හෝ බඩ වියත රැක ගැනීමට ආහාර ලෙස ගන්නේය. එහෙත් අව් වැසි සුළං මැසි මදුරු උවදුරු එමට මනම්පිටියේ බස් නැවතුමක ඔහු තවමත් සිටී.

නැගෙනහිර මනම්පිටිය ප්‍රදේශයේ තවත් මෙවැනිම මවක දරුවන්ගේ නොසැලකිල්ල මත දිවිගෙවන බවද වාර්තාවේ. ඇයට දරුවන් තිදෙනෙකි. එක් අයෙකු මියගොස්ය. අනෙක් දෙදෙනාගෙන් කෙනෙකු හමුදා සේවයේ බවත් අනෙක් දියණිය ගිය තැනක් දන්නේ නැති බවත් කියැවේ. ඇවිදගන්නට පවා අපහසු ඔවුන් ගැන බලන්නට අවට අසල්වැසියන් විටින්විට පැමිණියත් ඔවුන්ට එය දිගටම කරන්නට අපහසුවී තිබේ.

වලහන්දූවේ පියා ගැන විස්තර වීඩියෝවක් පහතින්

විස්තර - තේජා සිංහබාහු, ප්‍රියන්ත බණ්ඩාර ,නිමල් ජයරත්න