ලසන්ත මැරුවේ මමයි කියමින්
මියගිය සාජන් මේජර් ජයමාන්න
පෙර දිනයේ කොළඹ ගිය වෙලාවේ හමුවුනේ කාවද?



මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමා යැයි සඳහන් කරමින් ලිපියක් ලියා තබා ගෙල වැලලාගෙන මියගිය යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සාජන් මේජර් ජයමාන්න මෙම ඝාතනයට ඇත්තටම සම්බන්ධ වූයේද එසේ නම් ඒ කවුරු කී නීසාද? යන්න ගැන මෙන්ම මේ දක්වා ඔහුව සැකයකට හෝ ලක්ව නොතිබී කිසිවෙකුගේ කීම්බහක් මත දිවිනසාගත්තේද? යන්න ගැන පොලිසිය පුළුල් පරීක්ෂණ අරඹා තිබේ.
දිවි නසාගන්නට පෙරදිනයේ රාත්‍රී 7 ට පමණ ඔහු නිවසට ඇවිත් තිබුනේ කොළඹ ගොසින්ය. එම ගමනේදී ඔහු
කවුරුන් ඇසුරු කළේද යන්න ගැන ජංගම දුරකථන සංඥා ඔස්සේ පොලිසියට වැදගත් තොරතුරු ලැබී තිබේ. මේ වනවිට කෑගල්ලට පැමිණි සිටින අපරාධ පරීක්ෂණ කන්ඩායම් විහේෂ අවධානය යොමුකර මේ ගැන පරීක්ෂණ සිදු කරමින් සිටී.
මියගිය සාජන් මේජර් ජයමාන්නගේ අවසන් කටයුතු පුවක්පිටිය ‍පොදු සුසාන භූමියේදී පෙරේදා (16) සිදුකොට ඇත. එය ඊයේ 17 කරන්නට කලින් සැලසුම් කළද මියගිය අයගේ බිරිය අපේක්ෂා කළ දිනට පෙර විදේශයේ සිට පැමිණි නිසා එය කලින්ම අවසන් කර තිබුණි.
ජයමාන්න දිවිනසාගන්නට පෙර ලියූ ලිපියේ නිදහස් කරන ලෙස ඉල්ලා සිට තිබුනේ මිලින්ද උදලාගම නමැත්තෙකි නමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන
සිටින්කේ ප්‍රේම් ආනන්ද උදලාගම යන අයෙකි. මේ දෙදෙනාම එක් අයෙකුද නැත්ද යන්න ප්‍රහේලිකාවක් වී ඇති අතර මෙම අත්අඩංගුවට පත් අය ගැන තොරතුරු හරිහැටි නොදැන දිවි නසාගැනීමක් වැනි දෙයක් කරගන්නා ලද්දේදැයි යන්නද සැකයට බඳුන්ව ඇත.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයටත් ‘රිවිර’ පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධවත් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රේම් ආනන්ද උදලාගම නමැති හමුදා බුද්ධි අංශයේ සැරයන්වරයෙකි.



 කෑගල්ල මහ රෝහ‍ලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදීද මියගිය අයගේ පුතු වන අසිත ලක්මාල් ජයමාන්න දිවිනසා ගැනීමට පෙර ජයමාන්න විසින් ලියූ ලිපිය තම පියාගේ බවට සනාථ කර ඇති නමුත් මරණ පරීක්ෂකවරයා එම ලිපියේ අත් අකුරු පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂකවරයා වෙත යවා ඇත.
මොහු 2007 වර්ෂයේදී විශ්‍රාම ගොස් ඇති නමුත් 2009 වර්ෂයේදී ලසන්ත ඝාතනයට සම්බන්ධ කරගෙන ඇතිනම් එසේ වී තිබෙන්නේ හමුදා නියෝගයෙන් පරිබාහිර සැලැස්මක් මත බවටද තොරතුරු හෙළිව ඇත.මීට පෙර මි‍ලේනියම් සිටි සිද්ධියටද සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන තිබී ඇති මොහු ඒ හා සම්බන්ධඡ උදලාගම ඇතුලු සැකකරුවන් 9 දෙනාගෙන් කෙනෙකු විය. ඒ කරුනු මත මොහු මෙවැනි වැඩ සඳහා විශේෂයෙන් යොමු කරගන්නා පුද්ගලයෙකු බවට කරුණු තිබේ.
මෙම තැනැත්තා මියගිය ආකාරය මුලින්ම හඳුනාගෙන තිබුනේ අසල්වැසි ත්‍රීරෝද රියදුරෙකි. 37 හැවිරිදි රුක්මාල් ගුණතිලක නමැත්තෙකි. ඔහු ඒ ගැන මෙසේ කියා තිබුණි.

‘මියගිය අයට මං කියන්නේ රාජා මාමා කියලා. එයා මගේ අසල්වැසියෙක්. මේ අය නිවෙසේ කටයුතු කර ගැනීමට මට නිතර කතා කරනවා. මගේ ත්‍රිරෝද රථයෙන් ගමන් බිමන් යෑමට. පසුගිය 11 වැනි දින මොහු ගෙදර සිටියේ නැහැ. මියගිය රාජා මාමාගේ නෑනා වන ශ්‍රියාණි මට කතා කර කිව්වා රාජා අයියාගේ බාල පුතා ත්‍රිරෝද රථයෙන් පාසලට එක්ක යන්න එන්න කියා. ඒ අතර වාරේ රාජා මාමා කතා කර කීවා දින තුනක්ම දරුවා පාසලට ගෙන යන්න කියා. ඔහුට එන්න වෙන්නේ නැති බවත් කීවා. මට ඉන්න තැනක් කීවේ නැහැ.
ඒ අනුව දින 3ක්ම දරුවා මම පාසලට ගෙන ගියා. සිද්ධීය වූ දාත් (14දා) මම දරුවා පාසලට ගෙන ගියා. ඉන්පසුව මම කුලී ගමනක් යෑමට සූදානම් වී සිටියදී උදේ 8.21ට පමණ රාජ මාමා කතා කර කිව්වා පුතේ තව විනාඩි 6 - 7ක් තුළදී අපේ ගෙදරට එන්න කියා. මම 8.30ට පමණ නිවෙස ළඟට ගියා. එවිට ‍දොර අඩවල් කර වසා තිබුණා. මම ‍දොර ඇර ගේ තුළට ගියා. නිදන කාමරය වසා තිබුණ. මම ඉදිරියට ගොස් බලන විට කෑම කන කාමරය අසල වහලේ ඔහු එල්ලී සිටියා. මම එළියට ඇවිල්ලා කෑගහලා කිව්වා. අසල්වැසියන් එතනට ආවා. පොලිස් හදිසි ඇමතුම් අංශයට (119)ට දැන්නුවා.‘

මියගිය අයගේ වැඩිමහල් පුතා වන අකිත ලක්මාල් ජයමාන්න මෙම මරණය ගැන මෙසේ කියා ඇත.

‘මියගොස් ඇත්තේ මගේ පියා. මගේ අම්මා රාජපක්‍ෂගේ නිලන්ති රාජපක්‍ෂ. ඇය දැනට අවුරුදු දෙකහමාරක සිට සවුදි අරාබියේ පාසලක අනධ්‍යයන සේවිකාවක් ලෙස සේවය කරනවා. මට මල්ලිලා දෙදෙනෙක් සිටිනවා. අපි සියලු දෙනාම පදිංචිව සිටියේ කරඬුපන දෙනිපිටිය පාරේ එපිට ගෙදරවත්තේ නිවසේයි. මම කඩවත පෞද්ගලික ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටිනවා. ලොකු මල්ලී දිලීෂ ලක්මාල් ජයමාන්න. ඔහු කෑගල්ල මහා විද්‍යාලයේ 10 වසරේද, පොඩි මල්ලී නදීෂ 3 වසරේද ඉගෙන ගන්නවා. තාත්තා සමඟ අපි තිදෙනා නිවෙසේ පදිංචිව සිටියා. තාත්තා ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු වශයෙන් සිට විශ්‍රාම ගෙන පසුව පෞද්ගලික ආරක්‍ෂක සේවාවක ආරක්ෂක සේවයේ යෙදී සිටියා. ඔහු මිලේනියම් සිටි සිද්ධියේදී අත්අඩංගුවට ගෙන මාසයක් පමණ රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුණා. පසුව නඩුවෙන් නි‍ෙදාස් කොට නිදහස් වුණෙ වසර 3කින්. පසුව හමුදා සේවය අවසන් කොට විශ්‍රාම ගත්තා.
තාත්තා මත්පැන්, දුම්වැටි සාමාන්‍ය විදියට පාවිච්චි කළා. තාත්තා සමඟ අපි සතුටින් කාලය ගත කළා. සිද්ධිය වූ දිනට පෙර දින (13දා) ලොකු මල්ලීට තරගයක් සඳහා විද්‍යාලයෙන් ඉන්දියාවට යෑමට තිබුණා. තාත්තා ඒ සම්බන්ධව සියලු කටයුතු කර දුන්නා.තාත්තා කොළඹ ගිහින් 13දා රාත්‍රි 7.30ට පමණ ගෙදර ආවේ. එසේ පැමිණ මල්ලිගේ ඉන්දියා ගමනට අවශ්‍ය කටයුතු සූදානම් කර දුන්නා. 14 වැනි දින පාන්දර 3.00ට පමණ ලොකු මල්ලී පාසලට ගොස් භාරදී ආවා. මමත් සමඟ හොඳින් කතා කළා. පසුගිය සති අන්තයේ මමත් තාත්තා සමඟමයි සිටියේ. කිසිම කනස්සලුභාවයක් තිබුණේ නැහැ. ඉතා සතුටින් සිටියේ.පසුගිය දිනවල තාත්තා ගෙදර නොසිටි නිසා පොඩි මල්ලි ශ්‍රියාණි පුංචි අම්මලාගේ ගෙදර නවතා 11 වැනිදා සිට එහි සිට පාසල් ගොස් තිබෙනවා. දෙවැනි මල්ලී මේ ගැන කිසිවක් දන්නේ නැහැ. මම උදේ ගියාට පසු තාත්තා තනියම ගෙදර සිටියේ.‘

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුවේ.