මහපොළ භාරකාර අරමුදලින් රුපියල් මිලියන 1000 ක්‌ පමණ වංචා කිරීම හා පාඩු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික්‌ සමරවික්‍රම මහතාට විරුද්ධව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා
විමර්ශන කොමිසම හා පොලිස්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (23 දා) ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලදී.ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, මහින්ද යාපා අබේවර්ධන, පියල් නිශාන්ත හා විමලවීර දිසානායක යන මහත්වරු මෙම පැමිණිලි භාරදුන්හ.


ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැතිවරයා මේ සම්බන්ධව සෘජුව වගකිව යුතුයි යන කාරණය පදනම් කරගෙන මෙම පැමිණිල්ල කරන බව පැමිණිල්ල භාරදීමට පෙර බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මහපොළ භාරකාර අරමුදල මෙයට පෙර පැවැතියේ වෙළෙඳ අමාත්‍යාංශ යටතේ. නමුත් මෙය එම අමාත්‍යාංශයෙන් බැහැර කරමින් මලික්‌ සමරවික්‍රම ඇමැතිවරයාගේ අමාත්‍යාංශයට ලබාගත්තා. ඉන්පසු අරමුදල පරිහරණය කිරීමේ බලයලත් සමාගමේ සභාපතිවරයා බවට පත්කරන්නේ ප්‍රාථමික කොටස්‌ බැඳුම්කර මිලදී ගන්නා ආයතනයක හිමිකාරිත්වයක්‌ දරණ වික්‍රම වීරසූරිය මහතායි.

වික්‍රම වීරසූරිය මහතාගේ පුතුන් දෙදෙනෙකු අධ්‍යක්‌ෂවරුන් වශයෙන් කටයුතු කරන ආයතනයකට භාර අරමුදලේ මුදල් නිකුත් කරනවා. ඔවුන් - ආයෝජනය කරන ලද මුදල්වලින් මහපොළ සංවර්ධන අරමුදලට රුපියල් මිලියන 1000 ක පාඩුවක්‌ වී තිබෙනවා.

අනුර බාලසූරිය