මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු පපුවේ අමාරුවක් සෑදී පෙරේදා (25දා) මිය යෑමෙන් පසු මෘත දේහය බිරින්දෑවරුන් දෙදෙනකු ඉල්ලා සිටියේ යැයි කියන පුවතක් වරකාපොළ පොලිසියෙන් වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව කටාන ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි හත්දරු පියෙකි.

මිය ගොස් ඇති පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයකු බවත් ඔහු සතුව මාර්ග ගණනාවක ධාවනය වන බස් රථ කිහිපයක් ඇති බවත් පොලිසිය කියයි. මෙම පුද්ගලයා පළමු වරට කාන්තාවක් කොච්චිකඩේ ප්‍රදේශයෙන් විවාහ කරගෙන ඇති අතර ඇයට දරුවන් හතර දෙනෙක් සිටියි. පසුව පළමු විවාහ බිරිය 1990 වර්ෂයේ දී දික්කසාද වී ඇති අතර පසුව කටාන ප්‍රදේශයේ කාන්තාවක් විවාහ කරගෙන ඇයට දරුවන් තිදෙනකු සිටියි.

මෙම පුද්ගලයා පසුගිය කාලේ
අලව්ව ප්‍රදේශයේ සිය ඥාති නිවසක සිටියදී ඇති වූ අසනීප තත්ත්වයකින් පසු වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (25දා) මිය ගියේය.

මිය ගිය පුද්ගලයාගේ පළමු බිරිය මේ වනවිට විදේශ රටක ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීමට ගොස් ඇති අතර දරුවන් සිවු දෙනා තමාගේ පියා ගැන පවසා මෘත දේහය භාර ගැනීමට කෑගල්ල මහරෝහලේදී වරකාපොළ හදිසි මරණ පරීක්ෂක එල්. විමලසිරි රාජපක්ෂ මහතාගෙන් මුණ ගැසී ඉල්ලීමක් කර ඇත.

ඒ අවස්ථාවේදී තවත් කාන්තාවක් දරුවන් තිදෙනකු සමඟ තම සැමියා හා පියා ගැන පවසා මෘත දේහය ඉල්ලා ඇත. පසුව මරණ පරීක්ෂකවරයා දෙවැනි බිරියගෙන් කසාද සහතිකය ඉල්ලා ඇත.

පසුව ඇය කසාද සහතිකය මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී මරණකරු දික්කසාදවූවකු යන්න කසාද සහතිකයේ සඳහන් කර තිබූ හෙයින් දෙවැනි බිරියට හා දරුවන් තිදෙනාට මෘත දේහය භාර දී ඇත. පළමු බිරියගේ දරුවන් සිවු දෙනාටද අවමංගල්‍යයට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙස මරණ පරීක්ෂකවරයා දෙවැනි බිරියගෙන් ඉල්ලීමක් කර ඇත. මිය ගොස් ඇති පුද්ගලයාගේ දේපොළ දැනට දෙවැනි බිරිය සතුව ඇති බවත් එම දේපළ ලබා ගැනීමට පළමු බිරියගේ දරුවන් මෘත දේහය ඉල්ලා සිටි බවත් මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.

(දමුණුපොළ - චමින්ද ජයලත්)