
'උදම්මිට සමරේ' ඝාතනය කළ චාමර මාට්ටු
- ලක්ෂ 20 ණය නිසා මැරුවාලු
පසුගියදා වේයන්ගොඩ ප්‍රදේශයේදී 'උදම්මිට සමරේ' නමැති පාතාල නායකයා වාහනයක ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන චාමර නමැති අය පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (03 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
සමරේ සමග එකට කාබී එකට අපරාධකරමින් හිතවතෙකු ලෙස සිටි චාමර පසුව ඇතිවූ මුදල් අමනාපකමක් නිසා
මෙම ඝාතනය සිදු කර ඇත.
මෙම ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවකු සහ ටී 56 ගිනි අවියක්, පිස්‌තෝලයක් මෙන්ම ඝාතනයට පාවිච්චි කළ වෙසල් වර්ගයේ ජීප් රථයක් ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි එච්. සමුද්‍රජීව මහතාට ලැබුණු තොරතුරක් මත වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ඝාතනයට ලක් වූ උදම්මිට සමරේ තමාගෙන් රුපියල් විසිලක්‍ෂයක මුදලක් ලබාගත් බවත් වසර කීපයක් තිස්‌සේ එය ගෙවීම පැහැර හැරිය බවත් චාමර නමැති සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම මුදල් ලබාගැනීමට උත්සාහ කළ හැම අවස්‌ථාවකදීම සමරේ නමැත්තා තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට මරණීය තර්ජන එල්ල කළ බව ද සැකකරු ප්‍රකාශ කර තිබේ.
මේ හේතුව නිසා සමරේගෙන් පළිගැනීමට ඔහු මරා දැමූ බව ද චාමර නමැති ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
















