අම්බලන්ගොඩ ත්‍රිත්ව මිනීමැරුම් කළ අය හසුවේ
වැරදි තොරතුරකට කළ දෙයක්ලු

පසුගිය දෙසැම්බර් මාසයේදී අම්බලන්ගොඩ ඉඩන්තොට ප්‍රදේශයේ එකම පවුලේ සැමියා බිරිය හා සිව් හැවිරිදි දරුවෙකු කඩ සාප්පුවකදී මරා දමමින් සිදුකළ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කොටු කරගන්නට ඊයේ (9) අම්බලන්ගොඩ පොලිසිය සමත් වුණා.
වැරදි ඔත්තුවක් මත මෙම ඝාතන සිදු කර තිබුනේ කුලියට මිනීමැරුම් සිදු කරන පාතාල කල්ලියක් විසිනි. මින් ඉහත රත්ගම හිටපු ප්‍රා.සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයට වැරදිකරුවූ පොඩි ලැසී නමැත්තාගේ
පිරිසට අයත් බව කියන මෙම කල්ලිය මහා පරිමාණ මත්කුඩු ජාවාරම්වලටද සම්බන්ධ පිරිස් බව පැවසේ.
රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ යුදහමුදා සෙබළෙකු සැපයූ වැරදි ඔත්තුවක් මත වෙළෙඳසලක් පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයා ඔහුගේ බිරිය හා සිව්හැවිරිදි දරුවා පසුගිය දෙසැම්බර් 5 වන දින රාත්‍රී වෙළෙඳසැල ඇතුලේ සිටියදී ඝාතනය කර තිබුනේ ටී 56 තුවක්තු වලින් සිදු කළ වෙඩි තැබීම් වලිනි. එම ප්‍රහාරයට ත්‍රීරෝද රථවලින් මෙම කණ්ඩායම පැමිණ සිටි අතර වෙළෙඳ සැලේ පිටස්තර කවුරුත් නැති වේලාවක් බලා සීසීටීවී වයර් කපා දමා වයාපාරිකයාට වෙඩි පහර 12 ක් බිරියට වෙඩි පහර 4 ක් හා දරුවාට වෙඩි් පහර 5 ක් එල්ල කර මරා දමා තිබුණි.
මෙම ප්‍රහාරය ගැන පොලිසිය මුලින් හෝඩුවාවන් සොයා  බැලීමේදී මෙම ව්‍යාපාරිකයා ඔක්තොබර් මාසයේදී වෙනත් ඝාතනයක් ගැන ඔත්තු සැපයීම නිසා ඝාතන කල්ලිවල විරසකයට භාජනයවී තිබුණ බව පැවසිණි. ඔහුට අයත් වෙළෙඳසැලේ සීසීටීවී දත්ත ලබාදී පොල්ලකින් පහරදී සිදු කළ මිනීමැරුමක් කොටුකර දීම නිසා ඔහුට තර්ජන තිබී ඇත. ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයකු වූ මියගිය ව්‍යාපාරිකයා විවිධ කාරණා සම්බන්ධයෙන් අපරාධකරුවන්ගේ හොඳහිත පලුදුකරගෙන සිටි බවටද තොරතුරු හෙළී විය.
කෙසේ වෙතත් මොහු මරන්නට ඔත්තු සැපයූ රක්ෂිත බන්ධනාගාරයේ සිටින සෙබළා ලබාදී ඇත්තේ වැරදි තොරතුරක් බව ඝාතකයන්ට ඒත්තු ගොස් ඇත්තේ මරා දැමුවායින් පසුවය.
සිද්ධිය ගැන මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලැබීමෙන් පසු ඝාතකයින් ප්‍රෙද්ශ අතැර පළාගොස් සැඟවී සිට තිබේ.
දෙසැම්බර් මාසයේ සිදුවූ ඝාතනයට අදාළ විවිධ සැකකරුවන් වරින්වර අත්අඩංගුවට ගත්තත් නිවැරදි ඝාතකයන් හඳුනාගන්නට පොලිසියට කල්ගියේ එහෙයිනි.
මනෝජ් මෙන්ඩිස් ඝාතනය කළ පොඩි ලැසී නොහොත් ජනිත් මදුසංකගේ මාමා කෙනෙක් හික්කඩුව පැරෑලිය ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මාසයේ අගදී පොසියට කොටුවූයේ සැකකරු ත්‍රිරෝද රථයක් තුළ සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටියදීය.
වැඩිදුර විමර්ශනවලදී  ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් ප්‍රවාහනය කර ඇත්තේ මෙම රථයේ බවට තොරතුරු හෙළිවිය.
ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව අනෙක් සැකකරුවන් ගැන විමර්ශන ඇරඹි අතර ඊයේ එහි ප්‍රධාන සැකකරු හා දෙවැනියා අල්ලාගන්නට අම්බලන්ගොඩ පොලිසියට හැකි වූයේ ඔවුන් තවත් ඝාතනයක් සඳහා සුඛොපභෝගී රථයකින් යමින් සිටියදීය.
තමන් ව්‍යාපාරිකයාගේ පවුලම මරා දැමූ බවත් එය වැරදි ඔත්තුවක් නිසා නිරපරාදේ කළ එකක් බවත් ඔවුන් පාපොච්චාරණය කර තිබේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
සිද්ධිය සිදුවූ දිනවල වීඩියෝ පුවත් වාර්තාව පහතින්