ඇළට වැටී මියගිය බිරියගේ දේහය
සතුරන් රැගෙන ගිය පසු

තනිවූ සැමියාගේ දිවිනසාගැනීම

පෙම්වතියගේ දෙමාපියන්ගේ විරෝධතා මැද විවාහදිවියට පිවිසි තරුණයෙකු දෙමාපියන් හැරදමා වසරකට වැඩි කාලයක් විවාහ දිවිය ගත කර දරුවෙකුද ලැබ සිටි සමයක අවාසනාවන්ත රිය අනතුරක් නිසා බිරිය මියයාමේ සිද්ධියකින් පසු අසරණවී තිබේ. එම අවස්ථාවේ තමන්ට බිරියගේ දේහය ලබාගන්නට බැරිව යාමත් අවසන් කටයුතු සඳහා එක්වීමට හෝ එම දෙමාපියන් ඉඩ ලබා නොදීමත් නිසා කලකිරීමට පත්වූ එම තරුණයා දිවිනසාගැනීමේ පුවතක්
පොළොන්නරුවෙන් වාර්තාවේ.
මෙම පුද්ගලයා පොළොන්නරුවේ පදිංචි කරුවෙකු වන අතර මින් වසර කිහිපයකට පෙර මාවනැල්ලේ පිහිටි ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී අසල්වැසි නිවසක සිටි රූමත් තරුණිය දැක ඇය සමග ප්‍රේම සම්බන්ධයක් අරඹා තිබුණි. පවුලේ අයගේ විරෝධතා නිසා එය අත්හැරදමන්නට කරුණු සිදුවන්නට ඉඩ නොදී හඳපානේ පළායාමට ඔවුන් කටයුතුකර තිබුණි.


පවුලේ අය ඔවුන් රැඳී සිටි පොළොන්නරුවේ නිවසටද පැමිණ යළිත් මෙම සම්බන්ධය බිඳ දමන්නට උත්සාහ කර තිබුණත් ඒ වනවිට හදිසි විවාහයක් ලෙස නීත්‍යානුකූල ලෙස ඔවුන් විවාහ ගිවිසගෙන තිබුණ හෙයින් එය බිඳ දමන්නට බැරිව ගොස් ඇත. කෙසේ වෙතත් බිරියගේ පාර්ශ්වය මෙම තරුණයා කෙරෙහි පැවති වෛරය වෙනස්වී නැති අතර දරුවෙකු ලැබුන පසුව පවා කෑගල්ලේ නිවස තහනම් කලාපයක් වී තිබුණි.

පසුගිය දිනක තම බිරිඳත් සමග යතුරුපැදියෙන් ඥාති නිවසකට මෙම තරුණයා යද්දි පොළොන්නරුව ZD ඇළට යතුරුපැදිය වැටි අනතුරක් සිදුවූ අතර එහිදී අවාසනාවන්ත ලෙස දියේ ගිලී බිරිය මිය ගියාය.
තරුණයාගේ ජීවිතය බේරිණි. සිද්ධියෙන් මියගියේ එච් එම් රුවන්තිකා ප්‍රියන්ති කුමාරි නමැති 25 හැවිරිදි එක්දරු මවයි.

කෙසේ වෙතත් තරුණයා සමග වෛරයෙන් පසුවූ බිරියගේ ඥාතීන් එම අවස්ථාවේ මරණය සැකයි යනුවෙන් පොලිසියට දන්වා ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන්නටද ඉල්ලීම් කර දේහය භාරගෙන කෑගල්ලට ගෙන ගොස් තිබේ.
රෝහල් ප්‍රතිකාර ලබා තම මියගිය බිරිය බලන්නට මෙම තරුණයා කෑගල්ලේ නිවසට ගියද ඔහුව නිවසට වැද්දාගෙන නැතිව එළවා දමා තිබුණ ඔවුන් උඹ කෙල්ලව මරාගත්තා යයි බැණ වදිමින් බිරියගේ මිනිය අඩු තරමින් පෙන්වාවත් නැත.

පසුව පොලිසියට

ගොස් තමන්ට මිනිය ලබාගන්නට අවශ්‍ය බවට ඔහු පැමිණිලි ඉදිරිපත් කළද උසාවියට යොමු කර එම අවස්ථාව ලබාගන්නට ඔහු අපොහොසත්ව තිබේ.
ඒ අතරවාරයේ සැකසහිත මරණය ගැන ඔහුව දීර්ඝ ප්‍රශ්න කිරීම් වලටද ලක්ව ඇත.

වයස එකහමාරක්වූ තම දරුවා සමග තනිවුවාට අමතරව මෙම අනපේක්ෂිත ප්‍රශ්න මැද මානසික පීඩනය හමුවේ කළකිරීමට පත් තරුණයා බිරියගේ දේහයට ගෞරව දක්වන්නටත් ඉඩ නොතබාම ඇය භූමිදානය කරන දවසේ අධික කලකිරීමෙන්  ඔහුද සිය නිවසේ ගෙළ වැළලාගෙන මරණයට පත්ව ඇත.

සිද්ධියට පෙර දින නිවසට පැමිණ සිය දරුවා බදාගෙන රාත්‍රිය පුරා ඔහු එක දිගටම විලාප දුන් බව අසල්වාසීන්ට ඇසුණ බව  දන්වා ඇති අතර ඔහු එදින රාත‍්‍රියේ නිවස අසල ගසේ ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි පසුදා සිරුර හමුවීමෙන් පසු අසල්වාසීන් දන්වා තිබේ.