අඹ ගෙඩි 3 ක් කඩන්න ගිය අම්මාට
පොලිසියෙන් සැලකූ හැටි 

ඇත්ත කතාව


අනුරාධපුර සාලිය පුර පදිංචිව සිටින 64 හැවිරිදි ඒ. ලලිතා මහත්මිය අසල්වැසි නිවසක නෝනා කෙනෙකුගේ අකාරුණික සැලකිල්ලට ලක්ව එම නෝනා වෙනුවෙන් කැපවුණ පොලිසියේ අසාධාරණයට හසුවී පැය 24 ක් තිස්සේ වතුරපොදක්වත් නොදී රිමාන්ඩ් කර ලක්ෂයක ශරීර ඇප මත නිදහස්ව ඇත්තේ පාරට බරවූ අඹ ගසක අත්තකින් අඹ ගෙඩි 3 ක් කඩාගන්නට ගිය වරදකටය.
මෙම සංසිද්ධිය මානව දයාව පිළිබඳ ගැටලුවක් වන්නාසේම උස් තැන්වලට පමණක් ඇතැම් පොලිස් නිලධාරීන් දක්වන සැලකිල්ල ගැන ඛේදනීය තත්වය හඬගා කියන්නකි.
ඇය ඇගේ වචන වලින්ම
මෙම සිද්ධිය මෙසේ විස්තර කර තිබේ.

‘අපේ නිවස අසළ අසල්වැසි නිවෙසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක් මං දුටුවා. උයන්න දෙයක් නොවූ නිසා එයින් ගෙඩි තුනක් මං පසුගිය 9 වෙනිදා උදෑසන කඩා ගත්තා අඹ මාලුකන්න හිතාගෙන, එම අවස්ථාවේදී එම නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී එළියට පැමිණ එම ගෙදර නෝනා හා මහත්තයා පොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා.
ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා. ඉන්පසුව ඔවුන් අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබෙනවා. උදේ 10 ට පමණ පොලිසියේ මහත්වරු දෙදෙනෙක් මගේ නිවසට ආවා.

ඔවුන් මා හට කියා සිටියේ වත්තකට පැන අඹ ගෙඩි 19 ක් හොරකම් කලා කියා පැමිණිල්ලක් තිබෙන බවයි. එය විභාග කිරිම සඳහා පොලිසියට පැමිණෙන ලෙසත් කීවා. එය අසා මා පුදුමයට පත්වුණා. මම එතරම් අඹ ගෙඩි කැඩුවේ නැහැ, බොරු පැමිණිල්ලක් දාලා තිබුනේ. සපා කන බල්ලන් දෙදෙනෙකු සිටින කම්බි පොටවල් හතක් ගසා තිබෙන වත්තකට ආසනීපෙන් සිටින මා පැන සොරකම් කරන්නේ කොහොමද? එම පැමිණිල්ල අසා මා පුදුමයට පත් වුණා.

මම පහුවදා පොලිසියට ගිය පසු පැමිණිලිකාර කාන්තාව ද පැමිණියා. අඹ ගෙඩි තුනක් කඩා ගත් වැරැද්ද මහා භාර ගත්තා. මෙය සමථයකට පත් කර දෙන්න යැයි පොලිසියෙන් මා ඉල්ලා සිටියත් කාන්තාව එයට විරුද්ධ වුණා. පසුව ඇය පොලිස් නිලධාරින් ඉදිරිපිට දි කියා සිටියේ වැට මායිමක මා පදිංචිව සිටින වත්තේ තිබෙන ලුණුමිදෙල්ල ගස හා කොහොඹ ගස එම නෝනලාගේ ගස්වලට හානියක් නොවන ලෙස සතියක් ඇතුළත තපා ඉවත් කර ගැනීමට පොරොන්දුවත් දෙනවා නම් අඹ ගෙඩි කැඩු සිද්ධියට අදාළ පැමිණිල්ල ඉවත් කරගන්නා බවයි. පසුව මා එයට කැමති වුණා. පොලිසියෙන් කොළයක් දුන්නා ගස් දෙක සතියකින් කපා ඉවත් කර ගන්නා බවට ලියා අත්සන් කරන්න.

ඒත් අවසානයේ වෙනස්වුණ නෝනා එයටත් විරුද්ධ වුණා. පසුව පොලිස් නිලධාරීන්, මා උසාවියට ඉදිරිපත් කරන බව පැවසුවා.

දහවල් 11.00ට පමණ මම පොලිස් නිලධාරි මහත්වරුන්ගෙන් ඇහුවා ගෙදර යන්න ද කියා. උසාවි දාලා තියෙන නිසා යන්න දෙන්න බැහැ කිව්වා. මම අනුරාධපුර පොලිසියේ

ලොකු මහත්තයා හම්බ වෙන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටියත් නෝනාගෙ කීමට එදා පැමිණිල්ල විභාග කළ මහත්වරු එය වැළැත්වූවා. පසුව මාව බංකුවක වාඩි කෙරෙව්වා.පිරිමි සිරකරුවන් සිට තැන තමා එහෙම කළේ.  පසුව රාත්‍රියේ සිරකුඩුවකට දමා අගුලු දැමුවා. එම සිරකුඩුවේ සිටියේ මා පමණයි.

 මගේ උගුර කට වේලිලා කැරකිල්ල වගේත් ඇති වුණා. කැම ගෙනත් දෙන්නවත්, මුත්‍රා කිරිමට එළියට යාමටවත් කවුරුත් හිටියේ නෑ. අපේ ගෙවල් ළඟ පොලිසියේ වැඩකරන මහත්තයෙක් සිටිනවා දැක කතා කර, වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ විට පොලිස් නෝනා කෙනෙක් එව්වා. පහුවදා උදෑසන අපේ ගමේ අයට ආරංචි වෙලා ඒ අය පොලිසියට පැමිණ සිටියා. ඔවුන් පෙරකදෝරු ගාස්තු ගෙවා මාව උසාවියට ඉදිරිපත් කළා. ලක්ෂයක ශරිර ඇප දීලා මාව මුදාහැරියා,

ස්වාමිපුරුෂයයි මමයි විතරයි මේ ගෙදර ජීවත්වන්නේ, ස්වාමිපුරුෂයා වත්තක මූරකරනවා. මේ වනවිට මගේ එක් ඇසක පෙනීම දුර්වලයි. අනෙක් ඇසට ළඟදී කාචයක් දැමුවා. විටින් විට පපුව අමාරුවද හැදෙනවා.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස්ථානාධිපති සංජීව මහානාම  සඳහන් කළේ පැමිණිල්ල සමථයකට පත් කරගැනීමට පැමිණිලි පාර්ශවය අකමැතිවූ නිසා මේ ආකාරයට කාන්තාව උසාවි දැමූ බවයි.