1952 වසරෙහි මෙවැනිම ජුනි මසක දහතුන් වැනිදා දිනකි. සුනිල් සාන්තයන්ට, 'වරෙන් හීන් සැරේ' යන තමන් ගැයූ ගීය ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණි. උවමනාවෙන් ගීතයට කන් දෙමින් සිටි සුනිල් ශාන්තයන්ට ගීතය අතරමැද දී ගැයුමෙහි සුළු අඩුපාඩුවක් කන වැකුණෙන් හේ තිගැස්සී ගියේ මහත්
චකිතයකිනි. එවන් අඩුපාඩුවක් තමන් ගැයූ ගීතයේ කලින් නොතිබූ බව ඔහුට හොඳ හැටි විශ්වාසය.

 නමුත් මේ ඇසෙන ගීතය එවන්නක් කන වැකුණේ කෙසේද එම ගීතය වාදනය වී අවසානයේ එවකට ගුවන්විදුලියේ නිවේදකයකු වූ ලැඩී රණසිංහ විසින් එම අවස්ථාවේදී එම ගීය ගැයුවේ අයිවෝ
ඩෙනිස් විසින් යැයි නිවේදය කරන ලද අතර, එවේල් විකාශනය වෙමින් පැවැතියේ "ආධුනික පැයනම් වූ වැඩසටහන බවද පැවසුයෙන් සුනිල් සාන්තයන්ගේ පළපුරුදු දෙසවන රැවටූයේ අයිවෝ ඩෙනිස් නම් ආධුනික ගායකයා විසිනැයි සුනිල් සාන්තයන්ට දැන ගන්නට ලැබිණි. සුනිල් සාන්තයන් තම ගෝලයෙකු වූ පැට්‍රික් දෙණිපිටියගෙන් තතු විමසා අයිවෝ සොයා ගොස් ඔහුට තමන් මුණගැසෙන්නට යැයි පණිවිඩයක් යැවූ නමුත් අයිවෝගේ පියා තම පුතුගේ අධ්‍යාපනයට බාධාවක් වේ යැයි සිතා ඔහු වැළකීය.


 නමුත් තම මව වූ මරියා රොද්‍රිගෝගේ උපකාරයෙන්  සුනිල් සාත්තයන් වෙත ගොස් සංගීතය හැදෑරීම ආරම්භ කළ අතර, ඔබත් මමත් දන්නා අයිවෝ ඩෙනිස් නම් ගායකයා, සංගීත ශිල්පියා, කලාකරුවා උපත ලැබුවේ එතැනිණි.. සුනිල් සාන්තයන්ගේම තවත් ගෝලයෙකු වූ තිලක සුධර්මන් සිල්වා විසින් පබඳන ලද 'කුරුලු පරාදීසයේ' නම් පදවැල 1959 දී ගායනා කරමින් ගුවන්විදුලි ගායකයෙකු  වූ අයිවෝ ඩෙනිස් සිය දෙවැනි ගීතය වූ එච්.එම්. කුඩලිගම කවියා විසින් රචනා  කරන ලද 'කේතකි පාටලි ගස් නටවා' යනුවෙන් ආරම්භ වන ගංඟා ගීතය ගැයූ අතර, එම ගීත දෙකම තම ගුරුවරයා වූ සුනිල් සාන්තයන්ගේ තනු අනුව නිමවුණු ගීත වීම ඔහුට විශේෂයකි. 1959 දී රජයේ සංගීත ගුරු විභාගයෙන් සමත්ව රත්නපුර ගැටන්ගම මහා විද්‍යාලයට සංගීත ගුරුවරයා වශයෙන් පත්වීම් ලද අයිවෝ 1974 දී රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීතය පිළිබඳ ගුරු උපදේශකවරයකු වශයෙන් පත්විණි.හොරණ ශ්‍රීපාලි කලා ආයතනයේද ඉගැන්වීම් කළ අයිවෝ 1995 දී ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තද, දිගින් දිගටම සංගීත කටයුතුවල නියැළිණි.

අයිවෝ, ගායකයකු පමණක් නොව නළුවෙකු ලෙසද සිය ප්‍රතිභාව කලා ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කළ අයෙකි. හැටේ දශකයේදී කොළඹ පදවියේ රසාංජලී කලායතනයට සම්බන්ධ වෙමින් එහි නිර්මාණයක් වූ ''එසේය, අපි ඔහු මැරුවෙමු'' නාට්‍යයේ ජේසුස් වහන්සේගේ චරිතයට පණ පොවමින් සිය රංගන ජීවිතය ආරම්භ කළේය. ඔහු ඩබ්.බී. මකුලොළුව මහතාගේ "දෙපානෝ ගීත ඉඟි නළුවේ" ගායනා කරමින් ප්‍රධාන චරිතයකට පණපෙවූ අතර, සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ "තහංචි'' නාට්‍යයේ ප්‍රධාන නළුවාද විය, අයිවෝ ඩෙනිස්, චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ 1956 දී තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ''රේඛාව" චිත්‍රපටයෙනි. ඒ එහි ආරම්භක දර්ශනය වූ බොරු කකුල්කාරයෙකු (ශේෂා පළිහක්කාර විසින් නිරූපනය කරන ලද) ගමට පැමිණිය දර්ශනය සඳහා පසුබිම් ගායනය ලෙස යොදාගත් විරිඳු ගායනය කිරීමෙනි. 'අනුරාධපුර පොළොන්නරුව සීගිරි මන බන්ධනීය' යනුවෙන් මර්සලීන් ජයකොඩි පියතුමාණන් විසින් පබදින ලද මේ විරිඳුව නව රටාවක විරිදු තනුවකින් නිර්මාණිය කරන ලද්දේ ඔහුගේ ගුරුවරයා වූ සුනිල් සාන්තයන් විසිනි.
 සුනිල් සාන්තයන් මේ ගීත පටිගත කිරීම සදහා ඉන්දියාවට නොගිය බැවින් මේ සඳහා යොදවා ගත්තේ තම ගෝලයා වූ අයිවෝ ඩෙනිස්ය. එහිදී සිසිර  සේනාරත්න, ඉන්ද්‍රානි විජය බණ්ඩාර සහ තිලකසිරි ප්‍රනාන්දු යන ගායක ගායිකාවන්ට ගීත පුහුණු කිරීමේ කාර්යයද පැවරුණි.

අයිවෝ ඩෙනිස්ටය. එමෙන්ම ''සිනමාස්"  සමාගම විසින් 1959 දී තිරගත කළ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරීගේ "සංදේශය'' චිත්‍රපටයේ මිහිරි ගී රැස වෙනුවෙන්ද ධර්මදාස වල්පොළ, ලතා වල්පොළ, එච්. ආර්. ජෝතිපාල, සිඩ්නි ආටිගල, මොහිදීන් බෙග් යන ගායක ගායිකාවන්ට ගී පුහුණු කිරීමට ඉන්දියාවට යවන ලද අයිවෝ ඩෙනිස්ය. අයිවෝ ඩෙනිස් සුනිල් සාන්තයන්ගේ  ඇසුරේ ශිල්ප ලද නමුත් එකම තැනකට සිර නොවී සංගීත ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යෑමට වෙනත් සංගීතවේදීන් හා එක්ව කටයුතු කරන්නටද මගපෑදුවේ සුනිල් සාන්තයන් විසිනි, ආචාර්ය ඩබිලිව්. ඩී. අමරදේවයන් විසින් ගුවන්විදුලියට නිර්මාණය කරන ලද ''රස මියුරු හා විද්ය ගීතය'' යන ගුවන්විදුලි වැඩසටහන්වල ගැයුම සඳහාද එක් වූයේ එසේය.


රවීන්ද්‍රනාත් තාගෝගේ ගීතයක් වූ ප්‍රේමදාස අලවත්තාගොඩ විසින් සිංහල බසට නගන  ලද 'අඳුරු කුටිය තුළ දොරගුළු ලාගන’ යන ගීතය ගැයීම සඳහාද ප්‍රේමසිරි කේමදාසයන් තෝරා ගත්තේ අයිවෝ ඩෙනිස්  හා ටී.එම්. ජයරත්න යන සුසංයෝගයයි.  එසේම ''බඹරු ඇවිත්'' චිත්‍රපටය සඳහාද  ටී.වීම්, ජයරත්නගේ හඩ හා මුසුකර
කේමදාසයන් අයිවෝ ඩෙනිස් හඬ ''හඳුනා ගත්තොත් ඔබ මා'' යන ගීතයට යොදා ගනු ලැබුවේය. 'මගේ කාලයේ මවුනි, මානස විල  පිරිනිවන් මංගලය' ආදී කේමදාසයන්ගේ ඔපෙරා නිර්මාණයන් සඳහාද ''රජ වැඩ'' ශ්‍රවණ පටය සඳහා ද අයිවෝ ඩෙනිස්ගේ හඬ  ගැනිණි.

ප්‍රේමසිරි කේමදාසයන් විසින් ''හිමකතර" චිත්‍රපටයට නිර්මාණය කරන ලද ''කන්ද එහා වැස්ස වහිනවා'' තේමා ගීතය ගැයීම වෙනුවෙන් වසරේ හොඳම ගායනය ඉදිරිපත් කළ ගායකයා ලෙස ඔහුව තෝරා ගැනුණු අතර, ජාතික චිත්‍රපට සංස්ථාව විසින් පවත්වන ලද සිනමා උළලේදී ජනාධිපති සම්මානයෙන් පුද ලැබීය.

එමෙන්ම සිය හඬ ජාත්‍යන්තරය ඉදිරියට ගෙන යන්නටද සමත් වූ අයිවෝ ඩෙනිස් කලා කරුවා 1986 දී නවසීලන්තයේදී පැවැත්වුණු ජගත් ගීත ගායනා තරගයට චන්ද්‍රකීර්ති කුලරත්නයන් විසින් පබැඳූ, ඒ තමයි අපේ ආදරේ' ගීතය ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමෙන් ජාත්‍යත්තර තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කළේය. අයිවෝ ඩෙනිස් ජ්‍යෙෂ්ඨ ගායකයාණන් දැන් අප අතරින් නින්ම ගොස්ය. ඔහු සංගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවර තුළින් මේ මතකයට නගනු ලැබුවේ අබැටක තරම් ස්වල්පයකැයි කිවහොත් එය අසත්‍යයක් නොවේ.

අයිවෝ ඩෙනිස් නම් මේ අපුරු ගායකයා, නළුවා නැවත කිසිදු දිනක අප ඇස නොගැටෙන නමුත් තවත් බොහෝ කාලයක් පරම්පපරාවෙන් පරම්පරාවට ඔහු ගැයූ ගීත, ඔහු සංගීත නිර්මාණය කළ ගීත ඔහුව
මේ මිහිමත ජීවත් කරනු ඇත. සුබ ගමන් ආදරණීය කලාකරුවාණනි! නැවත මෙහි පැමිණනට යැයි ඇරයුම් නොතබාම මොක්සුව පතමු.
අයිවෝ ඩෙනිස් මහතාගේ අවසන් කටයුතු හෙට එනම්, 20 වැනිදා සවස තුනට සීදුව රෝමානු කතෝලික සුසාන භූමියේදී  සිදු කෙරේ.

නාලිකා රාජපක්ෂ