The-National-Selection-Committee-and-the-Association-play-catch-up-with-netball-selections

මෙම වසරේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම සඳහා වන ශ්‍රී ලංකා දැල්පන්දු තේරීම් තරග තවදුරටත් කල් දැමීමට පියවර ගෙන තිබේ. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ තවමත් ස්ථිර තේරීම් කමිටුවක් නම් කිරීමට ජාතික තේරීම් කමිටුව මෙන්ම ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයද අපොහොසත් වීමයි.මේ වනවිට පුද්ගලයන් 05දෙනෙකුගේ නම් ඇතුළත් නාමාවලියක් ජාතික තේරීම් කමිටුව වෙත දැල්පන්දු සංගමය විසින් ඉදිරිපත් කර ඇතත්, එම ඉදිරිපත් කළ නම් අතරින් හිටපු තේරීම් කමිටු සභාපති සකුන්තලා විජේතුංග ඉවත්වීමත් සමග පස්වැනි වරටත් තේරීම් කමිටුවකට නම් යෝජනා කිරීමට දැල්පන්දු සංගමයට සිදුවිය. මෙම කෙසේ වෙතත් මේ හේතුවෙන් දැල්පන්දු සංගමයට තවමත් තේරීම් තරග පැවැත්වීමට නොහැකි වාතාවරණයක් මතුව තිබේ.

මේ වනවිට දැල්පන්දු තේරීම් කමිටු සභාපති තනතුර හිටපු ශ්‍රී ලංකා නායිකා දමයන්ති ජයතිලක පත්කිරීමට යෝජනා වී ඇති අතර, අනෙකුත් පුද්ගලයන්ට වඩා වැඩි ලකුණු පරතරයක් ඇය ලබා ඇතැයි වාර්තා වේ. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ දැල්පන්දු තේරීම් කටුව සඳහා සම්පාදනය කළ නිර්ණායකවලට  ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම සහ ශ්‍රී ලංකා නායකත්වය ඇය විසින් හොබවා තිබීමයි. ඒ අනුව දමයන්ති ජයතිලකට තේරීම් කමිටු සභාපති ධුරය හිමිවීමේ වැඩි ඉඩක් පවතී. ඇයට අමතරව තේරීම් කට්ටුවට සකුන්තලා විජේතුංග, දීප්ති රූපසිංහ, තිසාංගනී ෂන්මුගනාදන් සහ චාමිකා අපොන්සු නම් කර තිබුණද

සකුන්තලා විජේතුංග මහත්මිය තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු තවත් පුද්ගලයෙකුගේ නමක් යෝජනා කිරීමට දැල්පන්දු සංගමයට සිදුව තිබුණි. මෙම දැල්පන්දු තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරික වන සකුන්තලා විජේතුංග මහත්මිය  පවසා සිටියේ,

මෙවැනි පසුබිමක් මධ්‍යයේ තමන් ආපසු තේරීම් කමිටුවකට නම් කළද එය භාර නොගන්නා බවයි. මීට අමතරව දැල්පන්දු තේරීම් කමිටු සභාපති තෝරාගැනීමේදී දැල්පන්දු කණ්ඩායම නියෝජනය කර තිබීම, ලබා ඇති වැඩිම අත්දැකීම් සහ අතීතයේදී දැල්පන්දු පරිපාලනයට සම්බන්ධ වී කටයුතු කිර්ම වැනි නිර්ණායක සැලකිල්ලට ගෙන ඇති අතර, එහිදී නම් කළ පිරිස අතුරින් දමයන්ති ජයතිලකට වැඩි ලකුණු හිමිව ඇතැයි වාර්තා වේ.කෙසේ වෙතත් දැල්පන්දු සංගමයද උත්සාහ කර තිබුණේ හිටපු තේරීම් කමිටු සභාපතිනී සකුන්තලා විජේතුංග මහත්මිය යළිදැල්පන්දු තේරීම් කට්ටු සභාපතිවරිය ලෙස පත් කිරීමටයි. එහෙත් ලකුණු දීමේ නව ක්‍රමවේදය සහ නිර්ණායක අනුව වැඩි ලකුණු හිමිව ඇත්තේ දමයන්ති ජයතිලක මහත්මියට බව හෙළිවේ.

දමයන්ති ජයතිලක මහත්මිය හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු නායිකාවක වන අතර, අවස්ථා කිහිපයකදී දැල්පන්දු සංගමයේ ලේකම්වරියක (එක් වරක් අතුරු කමිටු ලේකම් සහ අනෙක් වර ඡන්දයෙන් පත්වූ ලේකම්) ලෙසද කටයුතු කර තිබේ.

ඇය 2001 වසරේ ආසියානු ශුරතාව දිනු ශ්‍රී ලංකා පිලේ නායිකාව වන අතර, 1997 වසරේදී ආසියානු දැල්පන්දු ශුරතාව දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක වූවාය. 2002 වසරේ මැන්චෙස්ටර්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කරමින් රටවල් 2ක් අතුරින් 12වැනි ස්ථානයට ශ්‍රී ලංකාව රැගෙන ඒමට ඇගේ නායකත්වය දස්කම් විය. මීට අමතරව 1999දී නවසීලන්තයේ පැවැති  ලෝක දැල්පන්දු ශුරතාව සහ 2003වසරේ ජැමෙයිකාවේදී පැවැති

ලෝක දැල්පන්දු ශුරතාව යනාදී තරගවලදී ඇය කැපී පෙනෙන දස්කම් දක්වා තිබේ. ඒ හේතුව නිසා ඇය තේරීම් කමිටු සභාපති ධුරයට නම් කිරීමට යෝජනා වී ඇති බව අනාවරණය වේ. කෙසේ වෙතත් තවමත් තේරීම් කමිටුවට අනුමැතිය ලබාදීමට ජාතික තේරීම් කමිටුව පියවර නොගැනීමත් සමග ජාතික සංචිතයේ කටයුතු තවදුරටත් ඇනහිට තිබේ. අප තේරුම් කමිටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනී රංජනී ජයකොඩි මහත්මියගෙන් විමසීමක් කළ අතර,

ඇය පවසා සිටියේ තවමත් ජාතික තේරීම් කමිටුවෙන් පිට අනුමැතියක් ලැබී නොමැති බවයි. මෙම තේරීම් කමිටු අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය සහ ජාතික තේරීම් කමිටුව දාම් ක්‍රීඩාවේ නිරත වීම නිසා ආසියානු දැල්පන්දු තරගාවලියේ ජයග්‍රහණය යථාර්ථයක් බවට පත්වීම තවදුරටත් සිහිනයක් වෙමින් පවතී.

(පැතුම් ශ්‍රී විජේරත්න)