මාලබේ තලාහේන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රෝගීව ඇඳ මත වැතිර සිටි විශ්‍රාමික හමුදා මේජර්වරයකුගේ කටට පාන්කඩ ඔබා ඝාතනය කර ඔහු සහ ඔහුගේ බිරිඳ පැලඳ සිටි රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය පොල් කඩන්නෙකු සහ ඔහුගේ සගයා ඊයේ (20) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි. මෙලෙස ඝාතනයට ලක්වූයේ මාලබේ. තලාහේන සිසිල පුර පදිංචිව සිටි ජයරත්න බණ්ඩාර නමැති 81 හැවිරිදි විශ්‍රාමික මේජර්වරයෙකි.
කොල්ල කා තිබූ රන් මාලයක්, අත් පළඳනාවක්, මුදු තුනක් සහ කරාබු දෙකක් පොලිසිය මගින් සොයාගෙන ඇත. ඉකුත් 16 වැනි දින අලුයම පහට පමණ තාප්පය මතින් පැන නිවසේ මුළුතැන්ගෙය අසලට පැමිණ සැඟවී සිටි සැකකරුවන් දෙදෙනා විශ්‍රාමික මේජර් වරයාගේ බිරිඳ මුළුතැන්ගෙයි දොර අරිනවාත් සමගම කඩාවැදී ඇය කාමරයකට දමා අත් පා බැඳ කටට රෙදි පාන්කඩ ඔබා මරණීය තර්ජනය කර මෙම කොල්ලය සිදු කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම අවස්ථාවේදී වයෝවෘද්ධ කාන්තාව පැළඳ සිටි කරාබු යුගලය අත් පළඳනාව මුදුවක් සහ රන්මාලය සැකකරුවන් කොල්ල කා ඇති බව පොලිසිය කියයි. අනතුරුව කොල්ලකරුවන් දෙදෙනා යාබද කාමරයේ රෝගීව ඇඳ මත සිටි විශ්‍රාමික මේජර්වරයාගේ කටට ද පාන්කඩ ඔබා අත් දෙක උඩට කර ගැට ගසා අත පැළඳි රන් මුදු දෙකක් කොල්ල කා ඉදිරිපස දොරින් පිටවී තිබූ බව සී.සී.ටී.වී. දර්ශන අනුව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. මනුෂ්‍ය ඝාතනයක් සිදුකර කරන ලද කොල්ල කෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කරමින් සිටියදී ඇති වූ . සැකයක් මත ඝාතනයට ලක්වූ මේජරවරයාගේ නිවස පිහිටි වත්තට කලක සිට පොල් කැඩීම සඳහා පැමිණි පුද්ගලයකු කෙරෙහි ඇති වූ සැකයක් අනුව එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශන සිදු කළ බව පොලිසිය කියයි.
එදින අලුයම දෙදෙනකු එම නිවසින් පිටවන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වූ දර්ශන පොලිසියට ලැබීමෙන් පසුව ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනවලදී කොල්ලයෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා බත්තරමුල්ල තෙක් ගමන් ගත් මාර්ගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.පසුව දෙමටගොඩ බේස්ලයින් 20, ප්‍රදේශයේ නිවසක සැකකරු සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස වටලා ඝාතනය සිදුකළ පොල් කඩන්නා සහ සගයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරිමේදී රන් භාණ්ඩවලින් කොටසක් උකස් කර තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා තදින්ම මත් කුඩුවලට ඇබ්බැහි වූවන් බවද පොලිසිය කියයි.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) රොහාන් ප්‍රේමරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි රොහාන් පෙරේරා, සහකාර පොලිස් අධිකාරී චන්දන ගමන්ගේ මහත්වරුන්ගේ මග පෙන්වීම මත බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරික්ෂක හේමන්ත කුමාර, පොලිස් පරික්ෂක ජයසිංහ, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන් වරුන් වන (52951) සුනිල්, (40248) ප්‍රසන්න, (51496) බණ්ඩාර, පොලිස් කොස්තාපල් වරුන් වන (72338) ලලන්ත, (84740) කුමාර, (77688) අමිල, (81600) සමීර, පොලිස් කොස්තාපල් රියැදුරු (78818) තිලකසිරි මහත්වරු පරීක්ෂණ පවත්වති.සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ-lankadeepa)
0 Comments