පොත්පත් ලිපි ද්‍රව්‍ය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඇණවුම් කෙරුණු කඩදාසි (වයිට්  ප්‍රින්ටින්) ඇතුළු ද්‍රව්‍ය ටොන් 1000ක් පමණ ඩොලරයේ ප්‍රශ්නය නිසා හිරවී ඇතැයි වාර්තාවේ. 

මේ නිසා රජයේ ආයතනවල මුද්‍රණ කටයුතු ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ඇණ හිටින තත්වයක් උද්ගතව ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු පවසති. ලබන වසර සඳහා පෙළ පොත් මුද්‍රණයද මේ නිසා ගැටලුකාරී විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මියගෙන් අප කළ විමසුමකදී

ඇය පැවසූවේ තම ආයතනය ඇණවුම් කළ භාණ්ඩ මුලදී නියම කෙරුණු මිල ගණන්වලට සැපයීමට සැපයුම්කරුවන් අදි මදි කිරීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය මතු වී ඇති බවයි.

ඩොලරයේ මිල ඉහළ යැම නිසා ඊට සාපේක්ෂව එම ඇණවුම් කළ භාණ්ඩවලට ගෙවීම කරන ලෙස සැපයුම්කරුවන් ඉල්ලීම් කර ඇතැයිද ඇය සඳහන් කළාය. මේ සම්බන්ධයෙන් තමා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවද ලියනගේ මහත්මිය කීවාය. පොත් සහ ලිපි ද්‍රව්‍ය මුද්‍රණයට යොදා ගැනීම සඳහා  ඇණවුම් කෙරුණු තීන්ත සහ ප්ලේට් සැපයීම ද මේ තත්වය යටතේ ප්‍රමාදවී ඇතැයි මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් දැනට පවතින කඩදාසි සංචිතවලින් මුද්‍රණ කටයුතු කරගෙන යන බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කළාය.

මේ අතර සමහර රජයේ ආයතනවල ලිපිද්‍රව්‍ය යම් යම් ප්‍රමාණවල සංචිත පවතින හෙයින් ඒ සංචිත මේ අවස්ථාවේදී පාවිච්චි කරන ලෙසත් අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය පමණක් ඇණවුම් කරන ලෙසත් ඒ ආයතනවලට දැනුම් දී ඇතැයි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 -සුජිත් හේවාජුලිගේ-