කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කොන්ගස්දෙණියේ හෝටලයක් අසල පෙරේදා (19) පෙරවරුවේ නවතා තිබූ ලොරියක වෑන් රථයක් හැපී පස් හැවිරිදි දරුවකු මිය ගොස් තවත් පස් දෙනකුට තුවාල සිදු වී ඇතැයි නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය පවසයි. මිය ගොස් ඇත්තේ කඩුවෙල වැලිවිට පදිංචිව සිටි මනුජ සදීප් (05) නැමැති දරුවෙකි.
කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය පෙරේදා 19 වැනිදා පෙරවරු 10.20 ට පමණ කෝන්ගස්දෙණියේ හෝටලයක් අසල නවතා තිබූ ලොරියක හැපී අනතුර සිදුවී ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී යැයි පොලිසිය කියයි.
අනතුරෙන් වෑන් රථයේ රියදුරු අසුනේ වම් පසින් සිටි පස් හැවිරිදි දරුවා බරපතළ තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන අතර මගදී මිය ගොස් ඇති බවද පොලීසිය කීය. එම අසුනෙම සිටි විසි පස් හැවිරිදි කාන්තාවකද බරපතළ තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවත් වෑන් රථයේ පිටුපස අසුනක සිටි තවත් කාන්තාවන් තිදෙනකු හා දරුවකු ද තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර සිටින බවද පොලිසිය කියා සිටියේය.
වෑන් රථයේ සිටි පිරිස කඩුවෙල සිට අනුරාධපුරය වන්දනා ගමනක් යමින් සිටියදී අනතුරට පත් වී ඇති බවත් රියැදුරාට එය පාලනය කිරිමට නොහැකි වී නවතා තිබූ ලොරියක හැපී අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත. මිය ගොස් ඇති දරුවා රියැදුරාගේ පුතකු බවද පොලිසිය කීය. රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියා සිටියේය.
-ආනන්ද ඉ ජකොඩි--
0 Comments