gotabaya-thailand
මේ වනවිට තායිලන්තයට පළාගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදම් වලදී රජයේ මුදල් යොදාගත් බවට ඊයේ ඇමති බන්දුල ගුණවර්ධන උපුටමින් මාධ්‍ය තුළ පළව ඇති වාර්තා වැරදි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැහැදිලිකිරීමක් සිදු කර තිබේ.
 සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බව එම නිවේදනයේ දැක්වේ.


සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් නැගීය. හිටපු සහ වත්මන් ජනාධිපති වරුනට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ. මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බවද අමාත්‍යවරයා පැවසීය.
තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව දැනුම් දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව අවධාරණය කළේය.
මේ අතර ඇතැම් මාධ්‍ය මගින් පසුගිය කාලයේ ප්‍රචාරය වූයේ ගෝඨාභය රජපක්ෂගේ ගුවන් වියදම් මනෝජ් රාජපක්ෂ දැරූ බවත් හෝටල් බිල් ගෙවීම ඇවන්ඩ්ගාඩ් අධිපතිවරයා දැරූ බවත්ය.