හක්මන - තිස්සමහාරාම දක්වා ධාවනය වූ බස් රථයක කොන්දොස්තරවරයා තිස්සමහාරාම බස් නැවතුම්පළ ආසන්නයේදී රුපියල් ලක්ෂ පහමාරක මුදල් සහිත පසුම්බියක් සහ ජංගම දුරකථනයක් අහුලා එහි හිමිකරු සොයා භාරදීමට කටයුතු කළ පුවතක් තිස්සමහාරාමයෙන් වාර්තා විය.
මෙලෙස මුදල් පසුම්බිය දැක අහුලාගෙන ඇත්තේ තංගල්ල ඩිපෝවේ සේවය කරන ටී.ජී. බන්දුලසේන නමැති බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තරවරයා සහ එච්.එම්. කුලසිරි යන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි රියැදුරුවරයකු බව තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය. තිස්සමහාරාම හෝටලයක කළමනාකාරවරයකුට අයත් පසුම්බියක් බවට තහවුරු කර ගෙන තිබිණි. ඔහු එම හෝටලයට අයත් මුදලක් බැංකු ගත කිරීමට සිය යතුරුපැදියෙන් යන අවස්ථාවේදී මුදල් පසුම්බිය ජංගම දුරකතනය මහ මාර්ගයේ වැටී ඇති බවට තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර ඇත. පසුව එම ජංගම දුරකතනය අහුලා ගත් බවට බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියැදුරු පොලිසියට ඇමතුමක් ලබා දී මේ වන විට තංගල්ල ප්‍රදේශයට ගමන් කරමින් සිටින බවත් ඩිපෝවට පැමිණ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙසද පවසා තිබේ.
ඒ අනුව තිස්සමහාරාම පොලිසිය අයිතිකරු සමග තංගල්ලේ ඩිපෝවට ගොස් පැය තුනක පමණ කෙටි කාලයකින් මුදල් පසුම්බිය හිමිකරුට පොලිසිය ඉදිරියේ භාරදීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය.
ජනතාව ආර්ථික අපහසුතාවයෙන් පීඩා විඳින මෙවන් අවස්ථාවකදී මෙම කොන්දොස්තර සහ රියැදුරුවරයා කළ සේවය උතුම් ක්‍රියාවක් මෙන්ම රටටම ආදර්ශයක් බව මෙම කටයුත්ත විමර්ශනය කළ තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති එල්.ජී. නිමල් සඳහන් කළේය.
(අමිල සම්පත් ශ්‍රී - තිස්සමහාරාමය-අරුණ)
0 Comments