state-ministers-sept-06

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට (06දා) දිනයේ සිදුවීමට ඉඩ ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු පමණ පත්කිරීමට නියමිත අතර, පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍ය ධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා විය. රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළද ඔවුන්ට අදාළ විෂය පථයන් ගැසට් කිරීමක් මෙවර සිදු නොකිර්මට තීරණය කර ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා තම කැබිනට් අමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශය යටතේ කටයුතු කළ යුතු බවත් වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ලේකම්වරයෙක් පත් කරන නමුත් රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙනම මුදල් වෙන් කිරීමක් සිදු නොකිරීමටත්, අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා විය. ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවත් සති දෙකකින් කල් යනු ඇතැයිද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. කැබිනට් අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නම් ලැයිස්තුවේ ඇති කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පවතින විරෝධයද මෙම අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් දැනට කටයුතු කරන අමාත්‍යවරුන් 13දෙනාගේ ධුරයහි වෙනසක් සිදු නොවන බවත්, නව කැබිනට් අමාත්‍යවරුන් ඇමති මණ්ඩලයට එකතු වීම පමණක් සිදුවන බවත් වාර්තා විය.

( නවෝද්‍යා පවනි)