rangana-de-silva-cid

පසුගියදා ආන්දෝලනාත්මක ලෙස ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක ධූරයෙන් හා එම වැඩසටහන් වලින් ඉවත් කළ ප්‍රකට මාධ්‍යවේදී රංගන ද සිල්වාට මේදිනවල යූටියුබ් හා ෆේස් බුක් පිටු ඔස්සේ මඩ ප්‍රචාරයන් ගණනාවකට මුහුණදීමට සිදුව තිබේ.
 නිළියන් සමග පවතින අයථා සම්බන්ධයන් නිසා ඔහුගේ පවුල වෙන්වී ඇති බවට එක් මඩ ප්‍රචාරයක දැක්වුණි. ඔහු ස්වර්ණවාහිනියෙන් නෙරපන ලද්දේ  මුදල් වංචාවක් නිසා බවට තවත් ප්‍රචාරයක් තිබුණි. ඔහු තොරාගත් පිරිසක් සමග පමණක් වැඩසටහන් කරන බවත් වැඩසටහන් වලට අලුතින් නිළියන් ගෙන්වා ගැනීමට ඔහු නිළියන්ගෙන් ලිංගික අල්ලස් ලබාගන්නා බවටත් තවත් ප්‍රචාරයක් තිබුණි.
මීට කලකට පෙර රංගන ද සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි හිරු නාලිකාවේ සිට ස්වර්ණවාහිනියට පැමිණ එහි ප්‍රධාන තනතුරු ලබාගත් විගස එහි පැරණි සේවකයින් ගණනාවක් සේවයෙන් ඉවත් කළ අතර එම ඇතැම් පිරිස් පසුකාලීනව මේ අයට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ අවලාද නගමින් කරුණු දක්වා තිබූ බවද හඳුනාගන්නට ලැබේ.
යූටියුබ් ඔස්සේ රංගනට මඩ ප්‍රහාර දියත්වන්නේ එම පසුබිමේය.

මීට මාස එකහමාරක පමණ සිට තහවුරු නොකළ තොරතුරු මෙසේ ප්‍රචාරය වූ අතර ඔහු ස්වර්ණවාහිනියෙන් නෙරපීම සමග ඒවා තවත් වැඩි විය.

රංගනද සිල්වා මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන්නට ආවේ ඔහුගේ බිරිය වන ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදිකා නිශාන්ති දිල්රුක්ෂි මහත්මියද සමගිනි.
එම අවස්ථාවේ අධිකරණ වාර්තාකරුවන් ඉදිරියේ ඔහු මෙසේ කීය.

‘අසත්‍ය ප්‍රචාර පතුරුවා තිබෙනවා ඩිජිටල් මාධ්‍ය කිහිපයක් ඔස්සේ යූ ටියුබ් නාලිකා සහ සමහර ෆේස් බුක් නාලිකා මගින්. ඉතාම නින්දනීය පහත් විදියට මගේ බිරිදවත් ඈදාගෙන අසත්‍ය ප්‍රචාර කරලා තියෙනවා. නිහඩව හිටියා නතර වේවි කියලා. ඒත් එහෙම නොවුණ නිසා තමයි පැමිණිල්ලක් කරන්න ආවේ. අසත්‍යය නිවැරදි කරන්න හා ආරක්ෂාව වෙනුවෙන් තමයි සීඅයිඩී පැමිණිල්ල කරන්න ආවේ. අපි මාධ්‍යයේ කරන දේවල් රේටින් අතින් ට්‍රෙන්ඩින් අතින් ඉහළ යද්දි දරාගන්න බැරි කන්ඩායමක් ඉන්නවා. ඉරිසියාව කුහකකම තියන කණ්ඩායමක් ඉන්නවා.ඒ වගේ කිහිප දෙනෙක් තමා මේක කරන්නෙ.
මේකෙන් අපිට සමීප අය ඈත්කරවන්න පුළුවන්. ඒවගේම හොඳට ඉන්න කෙනෙක් නරක කෙනෙක් විදිහට හංවඩු ගහන්න නරකයි. ඒ නිසා පියවරක් ගන්නයි මාත් ආදරණීය බිරියත් ආවේ.‘


රංගනගේ බිරිය ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදිකා නිශාන්ති දිල්රුක්ෂි මෙසේ කීවාය.

‘ද්වේශ සහගතව වෛරී විදිහට සුළු පිරිසක් මේක කරන්නෙ. අපි හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. රංගනගේ අම්මා තාත්තා පවුලේ අය වගේම අපේ අම්මා තාත්තා පවුලේ අයත් ඔක්කොම එකට ඉන්නෙ. හරිම සාමකාමී විදිහට සමාජයට ආදර්ශමත් විදිහට තමා අපි ජීවත් වෙන්නෙ. අපි හොඳ ගමනක් යන්නෙ. අසත්‍ය පතුරන අයට කියන්නෙ ඕවා පවතින්නෙ නැහැ. අනවශ්‍ය දේවල් කරන්න එපා‘

රංගන නැවතත් මෙසේ කීය.
‘අවසාන වශයෙන් මං කියන්නේ කිසිවෙක් කිසිවෙතුට වෛර නොකෙරෙත්වා...ද්වේශ නොකරත්වා...කියලයි.. තැන්ක්යූ මල්ලි‘