roshan-ranasinghe

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් අද (8) ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා තීරණය කර තිබේ. ඒ සඳහා කැඳවීම් ලබා තිබෙන සෙසු නිලධාරීන් වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන්ය.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් ගණනාවක් ඕස්ට්‍රේලියාවේ දී දැන් පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියට සභාගිවී සිටින බැවින් දැනට දිවයිනේ සිටින එහි විධායක සභිකයන් පිරිසක් ක්‍රීඩා ඇමතිවරයාගේ කැඳවීමට අනුව අද සාකච්ඡාවට පැමිණීමට නියමිතය. ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවක් අතවරයට ලක්කිරීමේ චෝදනා මත සිඩ්නි අධිකරණයට ඊයේ (7) ඉදිරිපත් කළ ධනුෂ්ක ගුණතිලකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප විය. මේ නිසා ඔහු ගලවා ගැනීමේ ශ්‍රී ලංකා උත්සාහයන් ඊයේ වන විට වඩාත් සංකීර්ණ තත්වයක් ගෙන තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පරිවාර නිලධාරින් හා පුහුණුකරුවන් රැසක්ම විස්සයි - 20 ලෝක කුසලාන තරග සංචාරයට එක්ව සිටිය දී ක්‍රීඩකයන් විනය විරෝධී චෝදනා ලැබීම ගැන එහිදී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි අප්‍රසාදය පළකර ඇතැයි ද වාර්තාවේ.  කෙසේ වුවත් ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රඳවාගෙන සිටින ධනුක පිළිබඳව සොයා බලා කටයුතු කිරීම එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට  පවරා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මේ අතර විස්සයි - 20 කුසලාන තරගාවලියට ඕස්ට්‍රේලියාවේ දී සහභාගි වෙමින් සිටින අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සාද 16කට සහභාගි වීම ගැනත් ඉදිරි විමර්ශනවල දී අවධානය යොමු කරනු ඇතැයි වාර්තාවේ. එහිදී එයින් සාද 6ක් පමණක් නිල වශයෙන් සංවිධානය කර තිබූ බව ද සඳහන් වේ.
නාමල් පතිරගේ