harak-kata-police

සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හදුනාගෙන ඊට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් තුනක් පත් කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



වැඩබලන පොලිස්පතිවරයා එම පියවර ගෙන ඇත්තේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සමග පසුගියදා පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

හරක් කටා නැමැත්තා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ තබාගෙන සිටිමින් විමර්ශන කළද ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමට පත්විය නොහැකි බව

පවසමින් වැඩ බලන පොලිස්පතිවරයා විමර්ශන නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි දැනගන්නට ඇත.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් පත්කරන ලද විශේෂ කණ්ඩායම් තුන පූර්ණ කාලීනව නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන වල නියැලීමට නියමිතය.

නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ගෙවී ගිය වසර කීපය තුළ මෙරටට හෙරොයින් මත්කුඩු කිලෝ 4000කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ලෙස ගෙන්වා බෙදා හැර ඇති බවට සාක්ෂි දගින් අනාවරණය වී ඇති නමුත් ඔහුට විරුද්ධව නඩු කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර නොතිබීම පිළිබදව වැඩ බලන පොලිස්පතිවරයා සිය විමතිය පළ කර ඇති බවද වාර්ථාවේ.

හරක් කටා සම්බන්ධව අනාවරණය වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ නඩු කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී නීති විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.

දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගණේමුල්ලේ සංජීව හා සලිඳු මශිත ගුණරත්න නොහොත් පානදුරේ

කුඩු සළිඳු යන අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාලය දේශීය සහ විදේශීය වශයෙන් හඳුනාගෙන එම ජාලය බිඳ දැමීම සඳහා විමර්ශන ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවට දැනගන්නට ලැබී ඇත.

මීට අමතරව මෙරටට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වනු ලබන බවට අනාවරණය වී ඇති ප්‍රකට පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳ මෙරට අධිකරණය සහ ජාත්‍යන්තර පොලිසිය හරහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටද වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.

මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පසුගිය මස 17 වෙනිදා දින සිට ආරම්භ කර ඇති "යුක්තියේ මෙහෙයුම” මගින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාලයන් බිඳ දැමීමට සාර්ථක පියවර ගනිමින් සිටින අවස්ථාවක ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධාන පෙළේ පුද්ගලයින් පිළිබඳ ඉදිරි මාසයක කාල සීමාව තුළ සාධනීය පියවර ගෙන ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු බවටද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර ඇති බවටද වැඩි දුරටත් දැනගන්නට ඇත.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ