vavunia-president-incident

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වවුනියාව සංචාරය අතරතුර කළුකොඩි ඔසවා විරෝධය පළ කළ උතුරු නැගෙනහිර යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ ඥාති සංගමයේ සභාපතිනිය සහ සිවිල් ක්‍රියාකාරිනියක ඊයේ (05) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.



ජනාධිපතිවරයා වවුනියාව සංස්කෘතික ශාලාවේ පැවැති වැඩ සටහනකට සහභාගිවීම සඳහා පැමිණෙමින් සිටියදී වවුනියාව යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහ උතුරු නැගෙනහිර යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ සංගමයේ ක්‍රියාකාරීන් කළුකොඩි ඔසවා ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් කලහකාරී අයුරින් හැසිරුණු අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමග පොලිසිය හා විරෝධතාකරුවන් අතර නොසන්සුන් තත්වයක් හටගැනිණි.



ජනාධිපතිවරයා පැමිණෙන මග අවහිර කර විරෝධතා නොපවත්වන ලෙසට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් දී තිබියදී එම නියෝග කඩකරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

තමන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා හමුවීම සඳහා අවස්ථාවක් දෙන්නැයි විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

පොලිසිය එය ප්‍රතික්ෂේප කළ අතර පොලිසිය කීවේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු හමුවීමට එක් අයකුට අවස්ථාව ලබාදිය හැකි බවත් සියලු දෙනාට ජනාධිපතිවරයා අසලට යෑමට ඉඩනොදිය හැකි බවත්ය.

එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර නොසන්සුන්කාරී තත්වයක් හටගැනීමත් සමග උතුරු නැගෙනහිර යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපතිනිය හා සිවිල් ක්‍රියාකාරිනිය අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් දෙදෙනා ඊයේ වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.



මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වවුනියාවට පැමිණෙන අයුරු සහ වවුනියාව ගුවන් හමුදා කඳවුර වීඩියෝ ගත කළ 18 හැවිරිදි තරුණයකු එම ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටදී ඊයේ (5) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.

තරුණයා සැකකටයුතු ලෙස හැසිරෙමින් ජනාධිපතිවරයා පැමිණි ගුවන් යානය ගුවන් හමුදා කඳවුර සහ අවට මාර්ග වීඩියෝ කර ඇති බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

ජනාධිපතිවරයා යාපනය සිට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් වවුනියාව ගුවන් හමුදා කඳවුරට පැමිණියේය.

අත්අඩංගුවට ගත් තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරරයා පැමිණෙන ආකාරය, ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක අංශ රථවාහන පිළිබඳ ඇති වූ කැමැත්ත හේතුවෙන් ඒවා මෙසේ වීඩියෝ ගතකළ බවයි.

තරුණයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කෙරෙන බව වවුනියාවේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වවුනියාව පොලිසිය මේ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

මඩුකන්ද සිතුම් චතුරංග සහ යාපනය ප්‍රදීප් කුමාර