ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පෙරේදා (20) දෙරණ ටීවී ඔස්සේ විකාශයවූ ‘බිග් ෆෝකස්‘ වැඩසටහනේදී නිවේදක චතුර සමග සාකච්ඡාවක නිරත වූයේය. එහිදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්න වල මුරණ්ඩු ලෙස අවස්ථා ගණනාවකදීම අදහස් දැක්වූ අතර සම්පූර්ණයෙන්ම විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකලාපයන් ඉහළින් තබා ජනතාව පහළින් තබා කථා කළේය. විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම ඔහු සාධාරණීකරණය කර කියා තිබුනේ, එය සිදුවිය යුතුව තිබුනේ කඩින් කඩ බවත් මණ්ඩලය ඉවසා සිට එකවර වැඩි කිරීම නිසා ජනතාව කෑ ගැසූ බවත්ය.
මෙම සාකච්ඡාවේදී ඔහු ඉතා නිර්දය ලෙස විදුලිය නිසා අසරණවූ ජනතාව පහත් කර කථා කළේය.
නිවේදක චතුර වතු දරුවන්ට ඇතිවූ ප්‍රශ්නයක් මතු කළ අතර බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක, දරුවන්ට පාඩම් කිරීම සඳහා යාබද නිවසකින් විදුලිය ලබාදීමට යාමේදී පියා මියයාම ගැන කළ විමසීමේදී නොයෙල් ප්‍රියන්ත කියා සිටියේ
විදුලිය නැත්නම් ලාම්පු එළියෙන් දරුවන් ඉගෙනීමට යොමුවිය යුතු බවත් ඉංජිනේරුවකු වන තමන් ඇතුළු පැරණි පරම්පරාවේ අය මෙන්ම වර්තමානයේ මහාචාර්යවරුන් වී සිටින අය පවා කුඩා කල අධ්‍යාපනය ලැබුවේ ලාම්පු දල්වාගෙන පාඩම් කර බවයි.
වතුකරයේ පියවරුන් සවස බීමත් වන බවද ඔහු කියා සිටියේය.
මෙම අදහස් දැක්වීම් විවේචනයට ලක්වූ පසුව අද (22) උදෑසන විදුලි බල මණ්ඩල මාධ්‍ය නිවේදනයකින් ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මාධ්‍ය ප්‍රකාශක, ලංවිම මෙසේ කියා තිබුණි.
“දෙරණ රූපවාහිනී නාළිකාවේ Big Focus වැඩසටහනේදී මා අතින් සිදුවූ යම් ප්‍රකාශයක් හේතුවෙන් කිසියම් ජන කොට්ඨාශයට සිත් රිදීමක් හෝ සිත් තැවුලක් සිදුවූයේ නම් ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.“
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
වතු කම්කරු නායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බවද, ඔහු අවධාරණය කළේය. කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මත විනය පියවර ගන්නා බව, කියා සිටි අග්‍රාමාත්‍යවරයා.මෙම ප්රශ්නය මතුකිරීම ගැන විපක්ෂ නායකවරයාටද ස්තුතී කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නෙයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) විදුලි බල මණ්ඩලයට භාර දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් අද දහවල් දන්වා සිටියේය.
0 Comments