ඒ.ටී. ආරියරත්න ඉතිහාසගත වන්නේ රජයෙන් කිසිදු අනුග්‍රහයක් නොලබා ලංකාවේ දීප ව්‍යාප්ත 15,000කට අධික සර්වෝදය ශාඛා ජාලයක් 1958 සිට මරණය තෙක් මෙහෙයවූ නිසාය.

ආරියරත්න කවදාවත් ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමක දැකගත හැකි චරිතයක් නොවීය. එහෙත් ආරියරත්න තම ‘සර්වෝදය’ ව්‍යාපාරය දේශපාලන ව්‍යාපෘතිවලට හඳුන්වා දුන්නේනම් මෙරට දේශපාලනය තුළ සදාතනික මතකයක් වනු නියතය. ගම්උදාව, ජනසවිය, ජනහමුව වැනි වචන සර්වෝදය නාම විය.

1977 ජේ.ආර්. තම පාලන යුගය හැඳින්වූයේ ධර්මිෂ්ට සමාජය ලෙසය. ඒත් මේ පාඨය ජේ.ආර්. ගත්තේ ආරියරත්නගෙනි. වරක් ආරියරත්න විදේශගතව සිටියදි ජේ.ආර්. සහ ලලිත් ඇතුලත්මුදලි සර්වෝදය මූලස්ථානය බලන්නට ආ ආකාරය ආරියරත්න සටහන් කොට ඇත්තේ මෙසේය.

දිවා ආහාරය සඳහා ඔවුන් අප නිවෙසට පැමිණ තිබේ. අපේ ගෙදර සාලයේ වාඩි වී කතා කරන ගමන් ජේ.ආර්. ජයවර්ධන ලලිත් ඇතුලත්මුදලිගේ කනට කොඳුරා රහසක් කියා තිබේ.

“ලලිත්, ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීමට මම සර්වෝදයෙන් අදහසක් ගත්තා. ඒක තමයි ධර්මිෂ්ට සමාජය” පසු කලෙක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ලලිත් ඇතුලත්මුදලි එකට මුණගැසුණු අවස්ථාවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සිනාසෙමින් මෙසේ කීය. “ලලිත්, මතකද ආරියරත්නගේ ගෙදරදී මා කළ සොයා ගැන්ම?” කොක් හඬලා සිනාසුණු ලලිත් “ධර්මිෂ්ට සමාජය” යැයි පැවැසීය. පසුව ලලිත් මට මේ සිද්ධිය විස්තර කළේය.



ආරියරත්නගේ ජීවිතය තුළ ඔහුව ඝාතනයට උත්සාහ ගත් අවස්ථා හතරකි.

දිනක් තම මවට පින්දී මෙත්මැදුරේ බුදු මැදුරෙන් එළියට එන ආරියරත්න අසලට ආවේ කළු ඇඳගත් ගිනි අවි අතැති පිරිසකි.

“Sir we have order to kill you”

අපට ඔබව මරා දැමීමට අණක් ලැබී තියෙනවා.

ආරියරත්නට සැලියුට් එකක් ගැසූ සොල්දාදුවා තම පිස්තෝලය එළියට ඇද ගත්තේය.

“එතකොටම මට හිනා ගියා. ඔහු අහනවා ඇයි හිනා වෙන්නේ කියලා. ආරියරත්නට වෙඩි තියන විට සිහි බුද්ධියෙන්, හිනාවෙන්, මෛත්‍රියෙන් මැරුණු බව ඔබ මෙහි එවූ අයට කියන්න කියලා” ආරියරත්න ගිනි අවිය අතැති පුද්ගලයාට පැවසීය.

“මම කොහොමද සර්ව මරන්නේ. සර් හැංගිලා ඉන්න” ඝාතකයා කළුවරේ සැඟව යාමත් සමඟ ආරියරත්න ඝාතනයට ආ වාහන හතර පහක්ම ඔහු පසුපස පසු ගමන් යන ලදි.

තවත් විටෙක ආරියරත්නගේ මොරටුව නිවෙසේ ඔහුගේ නිදන කාමරයට එල්ල කළ බෝම්බය ට්‍රාන්ස්පෝමරයක වැදී පිපිරී ගියේය. එදින උදෑසන අනුරාධපුර මහමළුවේදී රටට සාමය උදාකර ගැනීමට සර්වෝදය සාම භාවනා වැඩසටහනක් පැවැත්වීමට තිබීම ද විශේෂ කරුණක් විය. එහෙත් නිවෙසට බෝම්බ ගසද්දි ආරියරත්න අනුරාධපුරේ ගොස් තම සාම භාවනාව ආරම්භ කරන ලදි.

ආරියරත්නගේ පවුලම පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනයට උත්සාහ ගත්තේ 2005 වසරේ නිදහස් දිනයේදීය. මේ ගැන එදා පුවත්පත් වාර්තා කළේ මෙසේය.



ශ්‍රී ලංකා සර්වෝදය ව්‍යාපාරයේ නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ සහ ඒ මහතාගේ බිරියගේත්, දරුවන්ගේත් ඇඟට පැට්‍රල් වීසි කොට ගිනි තබා මරා දැමීමේ අරමුණින්, ඔවුන් පදිංචි රාවතාවත්තේ “සමුදාන” නිවෙසට පැමිණි බවට සැක කරන එක්තරා පුද්ගලයෙක් මොරටුව පොලිසිය මඟින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ.ටී. ආරියරත්න මහතා හමුවීමට අවශ්‍ය බව කියමින් නිදහස් දා (4) සවස 2.15ට පමණ නිවෙසට පැමිණි බව කියන මෙම පුද්ගලයා ආරියරත්න මහතා රැස්වීමකට සහභාගි වීම සඳහා නිවෙසින් බැහැරව ගොස් ඇති බව පැවසූ විට ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රැඳී සිට, පසුව නීතා ධම්මචාරී ආරියරත්න (ආරියරත්න මහතාගේ බිරිය) මහත්මියගේ ඇඟට පැට්‍රල් විසි කොට ලයිටරයක් දල්වා ගිනි දැල්වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇයගේ පුතුන් දෙදෙනකු විසින් ඔහු මෙල්ල කොට මොරටුව පොලිසියට දුරකතන පණිවිඩයක් දී තිබේ.

සැකකරු ආරියරත්න මහත්මිය දෙසට පැට්‍රල් වීසි කොට ගිනි තැබීමට උත්සාහ කරද්දී ඇයගේ කෑ ගැසීම ඇසී එහි පැමිණි කනිටු පුත් දියත් සමන්ත දෙසට ද සැකකරු පැට්රල් වීසි කොට ඇති බව ද, එය ව්‍යවර්ථ වූ විට ගල් පහර එල්ල කළ බව ද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙයට අමතරව ආරියරත්නට බෝම්බ ගසා ඝාතනයට මුලින්ම කොන්ත්‍රාත්තුව ගන්නේ මරදානේ ‘චොප්පේ’ විසිනි. ආරංචිය ලත් ආරියරත්න චොප්පේ සොයා ගොස් අමතන විට චොප්පේ මවිතයට පත්විය. චොප්පේ එතෙක් සිතා සිටියේ ආරියරත්න යනු නාලන්දේ උගන්වන මදාවි ගුරකු බවය.

ලෝකයෙන් ආධාර ගෙන ආරියරත්න සර්වෝදය ගොඩනැඟුවත් රට ස්වයංපෝෂිත විය යුතු බව ආරියරත්න නිතරම කියූ දෙයකි.

ඩී.එස්. සේනානායක මැතිතුමාට මේ රට පිළිබඳව තිබුණේ ස්වයංපෝෂිත කිරීමේ අරමුණක්. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාට තිබුණේ ස්වයංපාලනය පිළිබඳ අදහසක්. අදත් මේ රටේ වැඩ කටයුතු කරන අය ක්‍රියා කරන්නේ ආර්ථික ස්වයංපෝෂිත බවත්, දේශපාලන ස්වයං පාලනයක් නොමැතිවයි. මේ ආරියරත්න නිතිපතා පැවසූ දෙයකි. ඊටත් වඩා ආරියරත්න ලෝක බැංකුව සැලකුවේ ලෝකයේ ඉන්නා ලොකුම හොරා ලෙසය.

සර්වෝදය ව්‍යාපාරයට 70 සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ ෆීලික්ස් ඩයස් විසිනි. තම ‘සර්වෝදය’ ෆිලික්ස් වරක් තහනම් කරන ලදි. ෆීලික්ස් සර්වෝදය තහනම් කළ අන්දම ගැන ඔහු සටහන් කර ඇත්තේ අපූරුවටය.

ෆීලික්ස් ඩයස්ගේ ගම් පළාතෙ අප වැඩ කළා. දොම්පෙ ආසනේ කුල හීන ගමක. ඉහළ කුලයක කට්ටියක් ගිහින් මේ කතාව ෆිලික්ස්ට කියලා. එයා මට එන්න කිවුවා. ඒ වෙනකොටත් එයා ජ.වි.පෙ. තරුණයො සිය ගණනක් හිරේට අරගෙන එහෙම හිටපු කෙනෙක්. මට එන්න කියල තිබුණෙ අධිකරණ අමාත්‍යාංශයට. මම හිතුවෙ එයා එක්ක එකතු වෙලා වැඩ කරන්න එන්න කිවුවා කියලා.

මම යද්දි එන්න කීව කාරණේ ඊට වෙනස්. පොලිස් පරීක්ෂකවරු තුන් දෙනෙක් හිටියා. මා ගියාම ඇමතිතුමා ලියුමක් තියාගෙන ඒක අත්සන් කළා. ඊට පස්සෙ මට ලියුම දුන්නා. මොකක්ද ලියුම “සර්වෝදය අද ඉඳල තහනම්” කියලා. මම කිවුවා, “ඔබතුමා අධිකරණ ඇමති නෙමෙයි. අනාධිකරණ ඇමති. සර්වෝදය තහනම් කියලා ලියුම දුන්නට අද ඉඳල සර්වෝදය වෙනදට වැඩිය වැඩ කරනවා” කියලා මම කිව්වා.

බොහෝ දෙනා නොදන්න කරුණක් නම් රණසිංහ ප්‍රේමදාස ජනපති වූ සැණින් පළමු ගැසට්ටුවෙන් ආරියරත්න ලංකාවේ අගමැති කරන්නට සූදානම් වූ බව.



“ප්‍රේමදාස ජනපති බලයට පත්වුණ ගමන් මට කිව්වා “09 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙනවා. එදාට ඔබතුමා මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දෙන්න ඕනෑ කියලා. මා අන්දුන්කුන්දුන් වුණා. එදා රෑම 12ට අගමැතිකම ගැසට් එකෙන් ඔබතුමාට පවරනවත් කිවුවා. ඒක අහපු ගමන් මම එකපාරටම පුටුවෙන් නැඟිට්ටා. “සර් රනිල් වික්‍රමසිංහ මහත්තයා, ලලත් – ගාමිණී දිසානායක මගේ හොඳ සහෝදරයො වගේ මිත්‍රයො. එයාල දන්නවා මම පක්ෂ බලකාමී දේශපාලනයට විරුද්ධයි.

මගේ පස්සෙන් ලක්ෂ ගාණක් සෙනඟ ඉන්නවා. මම කවදාවත් ඒ මිනිසුන්ට අහවල් පක්ෂයට ඡන්දය දෙන්නැයි කියල නෑ. මගේ ඡන්ද කොළේම කතිරෙ ගහල එනවා මිස ප්‍රකාශ කරලා නෑ. ඒ නිසා කරුණාකරලා ඕකට මාව දාන්න එපා” කියලා.

ආරියරත්නගේ මේ සටහනින් පෙනී යන්නේ තමන්ට ආ ‘අගමැති’ වාසනාව ගැන ඔහු තැකීමක් නොකළ බව නොවේද?

1958දී ආරම්භ කළ සර්වෝදය ව්‍යාපාරය අතුපතර විහිදුවමින් ලොව පුරා ව්‍යාප්ත වුවද එය කොළඹ නාලන්දා විද්‍යාලයේ ආරම්භ වූයේ ඉතා කුඩා පාසල් සංවිධානයක් ලෙසය. එහි මුල් නම වූයේ නාලන්දා සමාජ සේවා සංගමයයි. එහි මුල්ම කඳවුර පවත්වා ඇත්තේ කතතොලුව නම් කුරුණෑගල ගම්මානයකය.

“ඒ තමා අපේ මුල්ම කඳවුර. ඒ කඳවුර පැවැත්වීමට තීරණය කර ගත්ත දවසේ ඉඳන් සෑම සති අන්තයකදීම අප කරුණානන්ද මහත්තයගේ වාහනයෙන් කතතොලුවට ගියා.

වාහනය පැදවූයේ ධර්මා ගුණසිංහ මහත්තයා. එයා නැති වෙලාවට අපි ඩී.එස්. සේනානායක මහත්තයාගේ පර්ජෝ රථයෙන් හරි එල්.පී. විජේසුන්දර මහත්තයාගේ ඩී. කේ. ඩබ්. රියෙන් හරි ධර්මා රණසිංහ ෆොක්ස්වගන් රියෙන් හරි පර්සි විජේසූරියගේ ෆෝඩ් කොන්ඩල් රථයෙන් හරි කතතොලුවට යනවා. එදා ඒ ශ්‍රමදානයට පාසල් ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රජයේ දෙපාර්තමේන්තු කීපයක හා වෙනත් සමිති සමාගම්වල හා නොයෙක් පළාත්වලින් පැමිණි ජනතාව, පොලිසිය මේ හැම දෙනෙක්ම ලොකු සහයෝගයක් දුන්නා.” යයි ආරියරත්න සර්වෝදය ආරම්භය ගැන හමු වූ හැම විටම පැවසූ අයුරු අද ද මැවී පෙනේ.

ඒ.ටී. ආරියරත්න වූ කලී ප්‍රේමණීය චරිතයකි. නීතා ධර්මචාරි සමඟ විවාහයෙන් පසු ‘ආරි’ තම පරම්පරාව ගෙනයන්නට දරුවන් හයදෙනකු හදාවඩා සමාජයට දුන්නේ උපාධිධාරීන් ලෙසය. ආරිගෙන් තමන්ගේ දරුවන්ට හොඳට ඉගැන්වූ අයුරු විමසූ විට ඔහු කිව්වේ තමන් කිසිදින බීමත් පුද්ගලයන් තම නිවෙසට වද්දා නොගත් බවත් දරුවන් අම්මාත් තාත්තාත් ආදර්ශයට ගත් අතර ගෙදරට වද්දා ගත් තරමක් වද්ද ගත්තේ උගතුන් බවය.

විජේවීරත් – ආරියරත්නත් අතර තිබුණේ කදිම බැඳීමකි. 1971දී බන්ධනාගාරගත වූ විජේවීර බලන්නට ආරියරත්න ගියේ මැතිනියගේ විශේෂ අනුග්‍රහය යටතේය. විජේවීර සිටි සෙල් එකට ගිය ආරියරත්න පැය තුනක් විජේවීරට කතා කළේය. අන්තිමේදී විජේවීර ආරියරත්නට මෙසේ කියා ඇත.

“ආරියරත්න මහත්තයා ඔයාගේ මතයට මං එකඟයි. ඒ වුණාට ඔයා ස්ලෝ වැඩියි. එතකං මට ඉවසන්න බෑ.”

1988 භීෂණ යුගයේදී ද විජේවීර සමඟ ආරියරත්න සබඳතා පැවැත්වීය.

1971 හිරගෙට ගියාම විජේවීර ලියුමක් එවලා තිබුණා. මම එයාව හම්බවෙන්න ගියා. අසූවක් විතර කට්ටිය හිරේ සිටියා.

ඒ.ටී. ආරියරත්නට දේශපාලන පාක්ෂිකභාවය විවිධාකාරය. මහින්ද රාජපක්ෂ පාද යාත්‍රවෙන් එනවිට මොරටුවේදි කිසිවකු නැති විට ආරියරත්න ඔහුව පිළිගත්තේය. ඔහු එය නිර්වචනය කළේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙසය. ප්‍රේමදාස ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නට ගිය විට මහින්ද ඊට එරෙහි වීම ආරියරත්න අගය කළේ මහින්ද පිළිගැනීමෙනි. එදා මහින්ද සමඟ ආරියරත්න බදාගෙන ඉන්න පින්තූරයක් පත්තරවල පළකොට තිබුණි.

සර්වෝදය ව්‍යාපාරයෙන් ආරියරත්නට වඩා ප්‍රයෝජන ගත්තේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසය. ආරියරත්න අපදානය ලියන ලද්දේ ගුණදාස ලියනගේ විසිනි. දෙල්ගහයට ගෙදර මුද්‍රණය මුල්වර නිකුත් වූයේ 1979 දීය. පොත දැක ප්‍රේමදාස මහතා හැසිරුණු ආකාරය ලියුම්කරුගේ පියා සඳහන් කොට ඇත්තේ මෙසේය.

“දෙල්ගහයට ගෙදර විප්ලවය” පොතේ ප්‍රථම මුද්‍රණය පිට වී ටික දිනකින් (1979) බොරැල්ලේ කැම්බල් පිටියේදී සර්වෝදය රැස්වීමක් පැවැත්වුණි. එහි ප්‍රධාන අමුත්තා වූයේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතාය.

සෙනඟ පීරාගෙන මා ළඟට පැමිණි ප්‍රේමදාස මහතා “මිස්ටර් ලියනගේ ලියපු දෙල්ගහයට ගෙදර විප්ලවය පොත මම කීපවරක්ම ඉතා ආශාවෙන් කියෙව්ව. එයින් හුඟක් දේවල් ඉගෙන ගත්ත. දැනුත් ඒ පොත මගේ මේසය උඩ තියාගෙන දවසට කීපවරක් තැනින් තැන කියවල බලනව” යි කීය.

ඒ.ටී. ආරියරත්නයන්ගේ නිසල දේහය අප්‍රේල් විසිවැනිදා නිදහස් චතුරශ්‍රයේදී ගිනිගෙන ඒ ගිනි දැලි උඩු ගුවනේ විසිර යනු ඇත.

ඒ දුම්රොටු ඉහළ යන තරමටම ඉතා කුඩා මිනිසකු අනූදෙවසරක් මෙරටට කළ සේවයට පුදනු ලැබූ මල් සහ ගසනු ලැබූ ගල් ද ඉතිහාසය විසින් අතීතයට එක්කරනු නියතය.

වජිර ලියනගේ (Silumina)