දියතලාවේ ඊයේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.අනතුරින් පුද්ගලයින් 26කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි. දියතලාව, නරියාකන්දේ දී පැවති “ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් ” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතරතුරදී සිදුවූ දරුණු අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
“යතුරුපැදි හා මෝටර් රථ තරග මාරුවෙන් මාරුවටයි පැවැත්වුණේ. හවසත් මෝටර් රථ තරගයක් තිබුණා. කාලෙකට පස්සේයි අපිට මේ වගේ තරගයක් බලන්න හම්බ වුණේ. ඒ නිසා ආසාවෙන් බලාගෙන හිටියා. පැයට කිලෝමීටර් 160ක පමණ වේගයෙන් ධාවනය වෙමින් තිබ්බ කාර් එකක් කරණම් ගහමින් පෙරළෙන්න ගත්තා. ඒත් එක්කම ලොකු දුහුවිල්ලකින් හැම දෙයක්ම වැහිලා ගියා.
ළඟ ඉන්න කෙනාව පේන්නේ නැති ගානට දූවිලි ඇවිස්සිලයි තිබුණේ. සුළඟත්
එක්ක. ඒ දූවිලි අතරින් මම දැක්කා තවත් කාර් එකක් වේගයෙන් ඇවිත් පෙරළුණු
කාරයේ හැප්පෙනවා. ඒත් එක්කම ඒ කාර් එක උඩින් විසිවෙලා වගේ වැටුනේ සෙනඟ
හිටපු තැනටයි“ මෙම බිහිසුණු අනතුර ඇසින් දුටු හපුතලේ පදිංචි ගනේෂ්
කුමාර් මූර්ති සමඟ ඒ ගැන පැවසුවේ එසේය.
“අපි මේ වගේ දේවල් දැක තිබුණේ ටී.වී. එකෙන්. ඒ වෙලාවේ අපිව වෙව්ලන්න ගත්තා. මොනවද සිද්ධ උනේ කියල හිතා ගන්නත් බැරිවුනා. හැම තැනම කට්ටිය වැටිල හිටියා. දුහුවිල්ල නිසා මේ අනතුර හරිහැටි කවුරුත් දැක්කේ නැහැ. ධාවන පථයේ තිබ්බ අනිත් වාහන තරගය නවත්වන සංඥාව දෙනකම් ධාවනය වුනා. පස්සේ තමයි ගිලන් රථ ඇවිත් තුවාලකරුවන්ව රෝහලට රැගෙන යන්න කටයුතු කළේ. “ යැයිච ගනේෂ් කුමාර් මූර්ති පවසන්නට විය.
මෙවන් අනතුරක් කවදාවත්ම සිදුවී නොමැති බව ගනේෂ් කුමාර් මූර්ති වැඩිදුරටත් සඳහන් කළේය.
“කාර් එකක් උඩින් විසිවෙනව වගේ දැක්කා. ඒත් එකකම දුහුවිල්ලෙන් මුළු ප්රදේශයම වැහුණා. මෙලෝ දෙයක් පෙනුනේ නැහැ. එකපාරටම උඩින් වගේ ඇවිල්ල කාර් එකක් අපේ ඇඟ උඩට වැටුනා.“ මේ වන විට තුවාල ලබා දියතලාව රොහලේ ප්රතිකාර ලබමින් සිටින කාන්තාවක් වේදනාවෙන් සිද්ධිය විස්තර කළේ එසේය.
මෙම අනතුරින් මිය ගිය අය මෙසේය.
1 ආර්.අබේනායක යුදහමුදා සෙබළ (ඇඹිලිපිටිය )
2.ගනේෂ් ජයවර්ධන (මාතර )
3. අරුන ශාන්ත උපාලි ගමගේ (මාතර)
4.අශේන් හීනටිගල(මාතර)
5.උදයකුමාර් (ඩයරබා හංදිය මිරහවත්ත)
6.ධනුශිකා (8) (ඩයරබා හංදිය මිරහවත්ත)
7. චමින්ද නිරෝශන් (19) සීදුව
මිය ගිය මේ අය අතර සිටින වැලිමඩ ඩයරබා ප්රදේශයෙ පදිංචි උදයකුමාර් (65) සහ ධනුෂිකා (08) මිත්තණිය හා මිණිබිරියන් බව හඳුනාගෙන තිබේ.
අනතුරින් තුවාල ලැබූ අය අතර යුද හමුදා සේවකයන් දෙදෙනකු සිටින
බවත් ඒ අය දියතලාව මූලික රෝහලේ ප්රතිකාර ගන්නා බවත් පොලිසිය කියයි.
අනතුරින් පසු දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ පිරිස 26 දෙනෙකි. හත් දෙනකු මියගොස් තිබේ. බරපතළ තත්ත්වයේ තුවාල ලබා සිටි තිදෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රොහල් පොලිසිය කියයි. ඊයේ රාත්‍රිය වන විට දියතලාව රෝහලේ අනතුරින් තුවාල ලැබූ 16 දෙනකු ප්රතිකාර ගනිමින් සිටියහ.
0 Comments