nandalal-weerasinghe-speaks

 තමාට මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමට අවශ්‍යතාවක් නොමැති බවද මහ බැංකුව ස්වාධීන ආයතනයක් වන අතර එහි මුදල් මණ්ඩලයද ස්වාධීන බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවැසුවේය.



ශ්‍රී ලංකා මහ බැංකුවේ 27දා පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණ හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා එලෙස පැවැසුවේය.

අලුත් මහ බැංකු පනත අනුව එය තහවුරු වී ඇති බවද රජයක් වෙනස් වීමත් සමඟ ඇතැම් මහ බැංකු අධිපතීන් සහ ඇතැම් මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ඉවත්ව ගියේ සම්ප්‍රදායක් අනුව නොව පෞද්ගලික තීරණ මත බවද ඔහු කීවේය.



කෙටි කාලයක් තුළ සිදුකරන ආර්ථිකයේ වෙනස්කම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේදී අනුපාත ආදිය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා සමඟ මේ වන විට කෙටි සාකච්ඡාවක් පවත්වා ඇති බවද එය තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක් නොවන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) යන ප්‍රතිපත්ති පොලී අනුපාත මත පොලී අනුපාතයකට ගැනීම වඩා සුදුසු බවද නුදුරේදීම එය ක්‍රියාත්මක කරන බවද ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික මට්ටමේ සාකච්ඡා බැංකු පද්ධතිය සමඟ ඉක්මනින්ම සිදුකරන බවද ඔහු කීවේය.

එලෙස ප්‍රතිපත්ති පොලී අනුපාත තනි පොලී අනුපාතයකට ගැනීම මෙම අවුරුදු අවසන් වීමට පෙර සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර උද්ධමනය පහළ මට්ටමක පැවැතීම ඇතුළු වත්මන් ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගෙන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR), නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) යන ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.25% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.25% ලෙස නොවෙනස්ව දැනට පවතින මට්ටමේ පවතිනු ඇත.

අමිල අබේරත්න