anura-jayshanker

 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඊයේ (ඔක්. 4) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිවේදනය කළේ ය.

ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරට ත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන් ම ආයෝජනය, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා සහායවීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳව ද කරුණු පැහැදිලි කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබේ.



එසේ ම, ඔහු ශ්‍රී ලංකාවට සිය ආර්ථික පුනරුදය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳව ද අවධාරණය කර ඇත.

මෑත කාලීනව ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ලබා දුන් මූල්‍ය සහායට සිය කෘතඥතාව පළ කරන අතර ඉන්දියාව සමග අඛණ්ඩ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම තම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර තිබේ.

ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු කර ඇත.

එසේ ම, නුදුරු දිනකදී ම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසින් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වා තිබේ.

එමෙන් ම, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද නුදුරු පහසු දිනකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර ඇත.