සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ලෙස පෙනී සිටිමින් ඔහුගේ නම භාවිත කර ඊසි කෑෂ් ක්‍රමයට දිවයින පුරා සිටින වෛද්‍ය අධිකාරිවරුන්ගේ රෝහල් අධ්‍යක්ෂවරුන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගත් බව කියන සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකු අපරාධයක්
සම්බන්ධයෙන් වසර 40ක කාලයක් සිරදඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ යුද හමුදා හිටපු කමාන්ඩෝ භටයකු බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (28) දැනුම් දුන්නේය.වෛද්‍ය අධිකාරිවරුන්ගෙන්, රෝහල් අධ්‍යක්ෂවරුන්ගෙන් 50 වෛද්‍යවරුන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට ගෙන්වාගත් මුදල් සැකකරුවන් විසින් පෞද්ගලික බැංකුවලින් ලබාගන්නා ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. කැමරා දර්ශන ඇතුළත් වාර්තා රහස් පොලිසියට දීමට අදාළ පෞද්ගලික බැංකුවල කළමනාකාරවරුන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළේය. සැකකරුවන් මේ ආකාරයෙන්ම කළ තවත් මුදල් වංචා සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කළ ඉල්ලීම් පිළිගනිමින්
මෙලෙස තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කරන ලද්දේ මාතලේ අජිත් කුමාර හා හොරපොළ ප්‍රදීප් සඳරුවන් නමැත්තන්ය.
සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකරුවන් දෙදෙනා පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ භටයකු වන අජිත් කුමාර නමැති සැකකරු අපරාධයක් සම්බන්ධයෙන් වසර 40ක සිරදඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබූ පුද්ගලයකු යැයි කී රහස් පොලිස් නිලධාරීහු සැකකරු විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් උපයෝගි කර ගනිමින් දුරකථන සිම්පත් ලබාගෙන එම දුරකථන සිම්පත් මගින් වෛද්‍යවරුන්ට කතා කර මෙම වංචාව කර ඇතැයි පැවසූහ.
තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා බව අඟවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෛද්‍යවරුන්ට දුරකථන ඇමතුම් දී ඇති සැකකරු තමන් එම ප්‍රදේශයට පැමිණි බවත්
තමන් පැමිණි වාහනය ආපදාවට ලක්වී ඇතැයි කියමින් උපකාර ඉල්ලා ඇති බවත් දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු තමන් කාර්ය බහුල බැවින් ආපදාවට ලක්වී ඇති ස්ථානයට පැමිණීමට නොහැකි බවට වෛද්‍යවරුන් පැවසූ පසු සැකකරු ඔවුන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන වංචා කර ඇතැයිද දැනුම් දුන්හ.
ඊසි කෑෂ් ක්‍රමයට එලෙස ගෙන්වාගත් මුදල් සැකකරුවන් විසින් පෞද්ගලික බැංකුවලට ගෙන්වාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි දැනුම් දුන් නිලධාරීහු සැකකරුවන් පෞද්ගලික බැංකුවලින් මුදල් ගෙන ඇද්දැයි නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා අදාළ පෞද්ගලික බැංකු වල සී.සී.ටී.වී. කැමරා දර්ශන ඇතුළත් වාර්තා තමන්ට දීමට අදාළ පෞද්ගලික බැංකුවල කළමනාකාරවරුන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී හෙළි වූ කරුණුවලට අනුව වලස්මුල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් මේ ආකාරයෙන් මුදල් වංචා කළ තවත් සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් දැනුම් දුන් නිලධාරීහු අදාළ පැමිණිලි සඳහා සැකකරුවන් අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන්නැයි කළ ඉල්ලීමට මහෙස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සිය සේවාදායකයන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සී.සී.ටී.වී. කැමරා දර්ශන ඇතුළත් වාර්තා රහස් පොලිසියට දීමට අදාළ පෞද්ගලික බැංකුවල කළමනාකාරවරුන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 12 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.
( රෝෂන් තුෂාර)
0 Comments