ලොව විශාලතම රන් නිධිය සොයාගත් බව චීනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 80ක (බ්‍රිතාන්‍ය පවුම් බිලියන 63) පමණ වටිනාකමකින් යුත් මෙම සම්පත Wangu රන් ක්ෂේත්රයෙන් හමුවී තිබේ.
හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව, මෙම නිධියෙන් මෙට්‍රික් ටොන් 1,000කට වැඩි රන් ප්‍රමාණයක් ලබාගත හැකි බව පැවසේ. Pingjiang දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ක්ෂේත්රයේ සැතපුමක් පමණ ගැඹුරින් රන් ධාරා 40ක් හඳුනාගෙන ඇති අතර, ඒවායින් පමණක් මෙට්‍රික් ටොන් 300ක රන් ප්‍රමාණයක් ලබාගත හැකි බව විශේෂඥයින් පවසයි.
භූ විද්‍යාඥ Chen Rulin මහතාගේ ප්‍රකාශයට අනුව, කැණීම් වලදී ලබාගත් පාෂාණ සාම්පල වල ඇසට පෙනෙන ආකාරයට රන් අඩංගු වී ඇත. තවද, අවට ප්‍රදේශ වල සිදුකරන ලද පරීක්ෂණ කැණීම් වලින්ද රන් සොයාගැනීමත් සමඟ මෙම නිධිය තවත් විශාල විය හැකි බව පෙන්වා දී තිබේ.
මෙම සොයාගැනීමත් සමඟ ගෝලීය රන් මිල ගණන් ඉහළ ගියද, ලෝකයේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් දිගුකාලීන මිල උච්චාවචනය අවිනිශ්චිත තත්ත්වයක පවතී.
චීනය දැනටමත් ලෝක රන් නිෂ්පාදනයෙන් දහයෙන් එකක් පමණ නිපදවන අතර, මෙම නව සොයාගැනීම රටේ සම්පත් සුරක්ෂිතතාවය තහවුරු කිරීමට විශාල පිටුවහලක් වනු ඇත.
Wangu රන් ක්ෂේත්රය චීනයේ වැදගත්ම පතල් කැණීම් මධ්‍යස්ථානයක් වන අතර, මෙම ප්‍රදේශයේ ඛනිජ ගවේෂණය සඳහා යුවාන් මිලියන 100ක් පමණ ආයෝජනය කර ඇත. තවද චීනය ඛනිජ කර්මාන්තයේ ප්රමුඛයෙකු වන අතර, බැටරි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වටිනා ලෝහ නිෂ්පාදනයේදී ප්රමුඛස්ථානයක් ගනී.
දකුණු අප්‍රිකාවේ පිහිටි විට්වෝටර්ස්රෑන්ඩ් රන් නිධිය ලෝකයේ මේදක්වා විශාලතම රන් නිධිය ලෙස සැලකිණි. මෙය වසර 150කට වැඩි කාලයක් තිස්සේ කැණීම් කටයුතු සිදුකරන අතර, මේ වන විට මෙට්‍රික් ටොන් 50,000කට වැඩි රන් ප්‍රමාණයක් නිස්සාරණය කර ඇත. මෙය මුළු ලෝක රන් නිස්සාරණයෙන් 30%ක් පමණ වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි කාර්ලින් ටෝරන්ඩ් රන් නිධිය උතුරු ඇමරිකාවේ විශාලතම රන් නිධියයි.
1960 දශකයේ අගභාගයේ සොයාගත් මෙම නිධිය තුළින් මෙට්‍රික් ටොන් 1,000කට වැඩි රන් ප්‍රමාණයක් ලබාගෙන ඇත.
රුසියාවේ විශාලතම රන් නිධිය මුර්න්ටව්, සයිබීරියාවේ පිහිටා ඇත. වසර 1995දී සොයාගත් මෙම නිධියෙන් වාර්ෂිකව රන් මෙට්‍රික් ටොන් 20ක් පමණ නිස්සාරණය කරයි.
දකුණු ඔස්ට්‍රේලියාවේ පිහිටි ඔලිම්පික් ඩෑම් නිධිය ඔස්ට්‍රේලියාවේ විශාලතම රන් නිධියයි. මෙහි තවමත් මෙට්‍රික් ටොන් 500කට වැඩි රන් ප්‍රමාණයක් ඇති බව තක්සේරු කර ඇත.
0 Comments