බත්තරමුල්ල, පොල්දුව මංසන්ධියේදී පසුගිය වසරේ ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකයන් පිරිසක් පවත්වන ලද විරෝධතාවට බාධා කරමින් ජල ප්‍රහාර එල්ල කිරීම මඟින් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 30 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) නියම කළේය.
යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මේ බව තීරණය කෙරිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියේදී අත්අඩංගුවට ගත් පිරිසකට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් පැවැත්වෙන බව සඳහන් කළේය.
එම නඩු කටයුත්ත ඉල්ලා අස්කර ගන්නේ නම්, මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද? යන කරුණු සම්බන්ධයෙන් සලකා බලා තීරණය කළ හැකි බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවයි. ඒ අනුව ඒ පිළිබඳව දැනුම් දීම සඳහා පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම ලබන වසරේ ජනවාරි මස 30 වැනි දා කැඳවීමට නියෝග කළේය. එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කරන ලදි. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකාවන් දෙදෙනකු සහ ජාතික ජන බලවේගයේ සාමාජිකාවන් වන නීතිඥවරියන් දෙදෙනකු මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලීසිවල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කර සිටිති.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවතිදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මන්සන්ධියේදී තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වූ බව පෙත්සම්කරුවන් සඳහන් කර ඇත. 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාන්තා කටයුතු සඳහා වෙන් කර තිබෙන ප්‍රතිපාදන සියයට 51කින් අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම විරෝධතාවය පැවති බව එහි සඳහන් වේ. එම විරෝධතාවට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිස් නිලධාරින් විසින් ජල ප්‍රහාර එල්ල කළ බව පෙත්සමෙහි දැක්වෙයි.
එහිදී කාන්තාවන් කිහිපදෙනෙකු අමානුෂික සැලකීම්වලට ලක් වූ බව එහි සඳහන් කර ඇත. පොලීසියේ මෙම ක්‍රියා කලාපය අත්තනෝමතික සහ අසාධාරණ බව පෙත්සමෙහි සඳහන් වේ. එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති භාෂණයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත. එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගඋත්තරකාර පොලිස් නිලධාරින්ගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අය කර දෙන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
(නෙල්කා මැදගෙදර)
0 Comments