සූරියවැව විවාහ මංගල උත්සවයකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් කළ පහර දීමකින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මාස හතරකුත් දින 16ක් එක්තැන්ව සිටි දෙදරු පියා මියගොස් ඇතැයි සූරියවැව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නව අන්දරවැව පාර, නබඩගස්වැව සූරියවැව ලිපිනයේ පදිංචිව සිටි 47 හැවිරිදි එපිටගෙදර රූපසිංහ නමැති දෙදරු පියෙකි.
සූරියවැව මහආර ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී ඉකුත් ජූලි මස 7 වැනිදා පැවැති මංගල උත්සව අවස්ථාවකට මියගිය පුද්ගලයා සහභාගී වී ඇති අතර එහිදී ඔහුගේ ඥාති පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනකු හා බහින් බස්වීමක් වී ඇත. මෙම බහින්බස්විම දුරදිග යාම හේතුවෙන් ඥාති පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනා එක්ව කල පහර දිමක් හේතුවෙන් බිම ඇදවැටි ඇති මරණකරු බරපතළ තුවාල ලබා ප්‍රථිකාර සදහා සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලටත් පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් සුරියවැව පොලිස් ස්ථානය ඉකුත් ජුලි මස 15 වැනිදා අන්දරවැව, සුරියවැව ලිපිනයේ පදිංචි මීගස්දෙණිය කංකානම්ගේ කරුණාරත්න හා මීගස්දෙණිය කංකානම්ගේ තුසිත සම්පත් යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් අයකුට රුපියල් ලක්ෂ 03 බැගින් වු ශරීර ඇප මත මුදාහැර හැර තිබේ.
මියගිය පුද්ගලයා ප්රතිකාරවලින් අනතුරුව ඔහු නිවසට රැගෙනවිත් සිටියදී ඇති වූ අසාධ්‍ය තත්වයක් හේතුවෙන් යළි ඉකුත් 20 වන දින සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඒ අනුව මරණකරුගේ පුත්‍රයකු වන එපිටගෙදර රසඳු ලක්ෂාන් නැමති අය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද සිදුකරනු ලැබ තිබේ. ඒ අනුව සිද්ධිය පිළිබදව සූරියවැව පොලිසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වු අතර සිරුර පිළිබද පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සූරියවැව පොලීසියට නියම කෙරිණි.
(සූරියවැව නුවන් ජයසේකර)
0 Comments