තණමල්විල පොලිස් බල ප්රදේශයට අයත් හම්බෙගමුව, සූරියගොඩ ප්රදේශයේ පදිංචි කාන්තාවක හා අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තණමල්විල, අරඹෙකෙම පදිංචි පුද්ගලයකු කොස්ලන්ද ප්රදේශයේ කැලෑවකට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කර වළදමා තිබියදී තණමල්විල මූලාස්ථාන පොලීසිය විසින් ඊයේ (22) දහවල් සොයාගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල අරඹෙකෙම පදිංචි රොෂාන් දිනුක නමැති 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. හම්බෙගමුව අරඹෙකෙම පදිංචි රණසිංහ ආරච්චිගේ කාන්ති ඉන්ද්‍රානි නමැති අය විසින් සිය පුත්‍රයා දින කිහිපයක් තිස්සේ ආගිය අතක් නැති බවට පසුගිය 18 දින තණමල්විල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. එහිදී සිය පුත්‍රයා හම්බෙගමුව සූරියගොඩ ප්රදේශයේ පදිංචි කාන්තාවක සමඟ අනියම් සබධාතාවක් පවත්වාගෙන ගිය බවද පැමිණිල්ලේ සඳහන් කර තිබේ. ඒ අනුව තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩාමක් විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව අදාළ කාන්තාවගේ නිවෙසට ගොස් මේ පිළිබඳ ප්‍රශ්න කර ඇති අතර,
එහිදී එම කාන්තාව පොලීසියට පවසා ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ කැබ් රථය තම නිවෙසේ නවතා ගිය බවත්, යන ස්ථානයක් පිළිබඳ කිසිවක් නොකී බවත්ය.
ඒ අනුව තණමල්විල පොලීසිය වැඩි දුරටත් කළ විමර්ශනවලදී අනාවරණය වූයේ මේ කාන්තාවට බලහරුව ප්රදේශයේ තවත් අනියම් සැමියකු සිටින බවත්, ඝාතනයට ලක් වූ පුද්ගලයා එම පුරුෂයා සමඟ යතුරුපැදියකින් කොස්ලන්ද දෙසට යනු දුටු බවත්ය. ඒ අනුව පොලීසිය යළිත් එම කාන්තාව පොලීසියට ගෙන්වා කළ ප්‍රශ්න කිරීමේදී එම කාන්තාව විසින් අනෙක් අනියම් සැමියාගේ තොරතුරු දී තිබේ. ඒ කාන්තාවගේ ප්‍රකාශ අනුව බලහරුව පදිංචි 46 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ලෙන ප්‍රශ්න කර තිබේ. එහිදී එම සැකකරු පොලීසියට පවසා ඇත්තේ මේ කාන්තාව සමඟ තමගේ අනියම් සබඳතාවක් පවතින බවත්,
ඝාතනය කෙරුණු පුද්ගලයාගෙන් ඇයට කරදර තිබූ බවත්, එම කාන්තාවගේ ඉල්ලීම පරිදි මරණකරු සමඟ සුහදත්වයක් ගොඩනඟාගෙන කොස්ලන්ද ප්රදේශයේ ගංජා හේනක් සකස් කිරීමට බව පවසා රැගෙන ගොස්
කැලය තුළදී කැත්තකින් ගෙල කපා ඝාතනය කළ බවත්ය. ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔළුව කඳින් වෙන් කර වෙනම ස්ථානයක වළ දැමූ බවත් සිරුරේ ඉතිරි කොටස ඇළක් ආසන්නයේ දමා ගිය බවත්, තමා රැගෙන ගිය කැත්ත හා උදැල්ල කැලයේ සඟවා ආ බවත්
පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ සැකකරු පවසා තිබේ. ඒ අනුව සැකකරුගේ මඟපෙන්වීම මත ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර සොයාගැනීමට පොලීසිය කොස්ලන්ද ප්රදේශයට ගොස් තිබේ. පොලිස් නිලධාරීන් කොස්ලන්ද ප්රදේශයේ කි.මී. 8ක පමණ දුරක් කැලෑව තුළට ගොස් තිබේ. මේ සඳහා පොලීසිය පා ගමනින් ගමන් කිරීමේදී අසල සිටි සුනඛයකුද පසුපසින් පැමිණ තිබේ. එහිදී සැකකරුටද අදාළ ස්ථානය සොයාගැනීමට අපහසු වූ නමුත්, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර හා වළදමා තිබූ හිස මෙන්ම කැලයේ සඟවා තිබූ කැත්ත හා උදැල්ලද සොයාගැනීමට පොලිස් නිලධාරීන් හා පසුපසින් පැමිණි සුනඛයා උපකාර වී තිබේ. ඒ අනුව සැකකාර අනියම් බිරිය හා බලහරුවේ පදිංචි සැකකරු සමඟ යතුරුපැදිය හා කැබ් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් පුද්ගලයන් සම්බන්ධයෙන් මූලික විමර්ශන තණමල්විල පොලීසිය මඟින් සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා සැකකාරිය කොස්ලන්ද පොලීසිය වෙත භාර දී ඇති අතැර, ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(සූරියවැව - නුවන් ජයසේකර,සොරණාතොට - සී. ගමගේ)
0 Comments