125-trains-in-Korea-delayed-after-train-operator-goes-to-the-toilet-for-4-minutes
ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රමාදයන් සාමාන්‍ය වූවාට දියුණු රටවල ඒවා අසාමාන්‍යය. සුළු අතපසුවීමක් නිසා දුම්රිය ප්‍රමාදයක් සිදුවීමෙන් දකුණු කොරියාවේ සිදුවූ කලබගැනීයක් ජාත්‍යන්තර මාධ්‍ය වල පවා පළවිය.

දකුණු කොරියාවේ සෝල් නුවර නොවැම්බර් 25 වන දින සිදු වූ මෙම සිද්ධිය දුම්රිය රියදුරෙකු විනාඩි හතරක වැසිකිළි විවේකයක් සඳහා ඉවත්ව යාමෙන් දුම්රිය 125 ක් ප්‍රමාද වීමකි.




එදා උදෑසන කාර්යබහුල වේලාවේදී සිය ගණන් මගීන් අතරමං විය. කොරියන් හෙරල්ඩ් වාර්තාවට අනුව, මෙම බාධාව සිදුව ඇත්තේ පෙරවරු 8.11 ටය. සෝල් මෙට්‍රෝ ආයතනයට අනුව, රියදුරු හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් දුම්රිය නැවතුම්පොළක නවතා, සිය ස්ථානයෙන් ඉවත්ව ස්ථානයේ වෙනත් මහලක පිහිටි වැසිකිළියකට ගොස් ඇත. ඔහු නොමැති අවස්ථාවේ දුම්රිය ඉංජිනේරුවෙකු දුම්රිය අධීක්ෂණය කළ අතර, රියදුරු විනාඩි 4යි තත්පර 16කින් නැවත සිය රාජකාරියට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, මෙම කෙටි බාධාව දැවැන්ත බලපෑමක් ඇති කර ඇත. සෝල් මෙට්‍රෝ ආයතනය වාර්තා කළේ ඉන්පසු පැමිණි දුම්රිය මිනිත්තු 20ක් දක්වා ප්‍රමාද වූ බවයි. කෙසේ වෙතත්, දුම්රිය පරතරය එලෙසම පවත්වාගෙන යාම නිසා මගීන්ට අවම අපහසුතාවයක් ඇති වූ බව ආයතනය පැහැදිලි කර ඇත.



සෝල් මෙට්‍රෝ නියෝජිතයෙකු පැහැදිලි කළේ වටරවුම් මාර්ගවල සේවය කරන රියදුරන් විවේක නොමැතිව පැය තුනක් දක්වා සේවය කිරීමේදී මුහුණ දෙන අභියෝග ගැනය. "හදිසි අවස්ථාවලදී ඔවුන්ට ජංගම වැසිකිළි භාවිතා කළ හැකි නමුත්, සමහර අවස්ථාවල වේදිකාවෙන් ඈත පිහිටි ස්ථානවල ඇති වැසිකිළි භාවිතා කිරීමට හැර වෙනත් විකල්පයක් නොමැත" යැයි ප්‍රකාශක පැවසීය.

මෙම සිද්ධිය හේතුවෙන් සෝල් මෙට්‍රෝ රියදුරන්ගේ සේවා තත්ත්වයන්, විශේෂයෙන් දිගු මුර වාරවලදී ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් වලට ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්න මතු වී ඇත. තත්ත්වය ඉක්මනින් විසඳුනද, ලෝකයේ කාර්යබහුලම මෙට්‍රෝ පද්ධතිවලින් එකක මනා මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියුම් සමතුලිතතාවය මෙම සිදුවීමෙන් පෙන්නුම් කරයි.