කොල්ලකෑම් වල නිරතවන්නෝ කලින්කලට විවිධ උපායන් භාවිතා කරති. ඉහළ පන්නයේ රූපලාවන්යගාරවලට ගොස් ෆේෂල් කරන්න අවශ්‍ය යයි කියමින් රැඳී සිට එක්වරම උල් ආයුධ පෙන්වා බියගන්වා පැමිණ සිටින ගැණුම් කරුවන්ගේ රන් ආභරණ කොල්ලකන යුවළක් මෙම අලූත් උපායට කොල්ලකන්නට ගොස් පසුගියදා මෝදර ප්‍රදේශයේදී පොලිසියට කොටුවුණා.
කොළඹ උසස් බාලිකා පාසලක අධ්‍යාපනය හදරා ඇති 30 හැවිරිදි වියේ රූමත් කාන්තාවක හා ඇගේ අනියම් සැමියා බව කියන 29 හැවිරිදි තරුණයෙකු මේ ආකාරයට කොටුවී තිබුණා. මත්කුඩු භාවිතයට ඇබ්බැහිවි සිටි බව කියන මේ යුවළ දිනකට රුපියල් 10000 ක පමණ වියදම් කර මත්කුඩු පරිහරණය කරන බවත් එයට මුදල් උපයාගන්නට වරින්වර කොල්ල කෑම් සිදුකරන බවත් අනාවරණය වුණා.
වැල්ලවත්ත ප්‍රදේශයේ රූපලාවන්‍යාගාර දෙකකින් හා මෝදර රූපලාවන්‍යාගාරයකින් මේ ආකාරයට රන්භාණ්ඩ හා මුදල් කොල්ලකා ඔවුන් ගැන පොලිස් පොතේ සටහන්ව තිබුණ අතර එයට අමතරව ඔවුන් කොල්ලූපිටිය ඇතුළු විවිධ ප්‍රදේශවල නිවාස කොල්ලකෑම් රැසක්ද සිදුකර ඇති බව පොලිසියට පවසා තිබෙනවා.
මෙම කාන්තාව හා පිරිමියා රූපලාවන්‍යාගාරවලට යන්නේ කාන්තාවට ෆේෂල් එකක් කරන්නට අවශ්‍ය යයි කියමිනි.
ඇයට ෆේෂල් එක කරන අතරවාරයේ හෝ පොරොත්තු පෝලිමේ සිටින අතරවාරයේ රූපලාවන්‍යාගාරයේ සෙනග පිරීයන වේලාවක් බලා දෙදෙනාම සාක්කුවල සැඟවූ පිහි අතට ගන්නා අතර එහි සිටින අයගේ ගෙල ප්‍රදේශවලට පිහි එල්ල කර බියගන්වා මුදල් හා රන්ආභරණ ඉල්ලන බව පැවසුණා.
ඒවා මල්ලකට දමාගෙන ඔවුන් ක්ෂණයකින් පළායන බවද පැවසුණා.
රූපලාවන්‍යාගාරවලට පැමිණෙන ඉහළ පැළැන්තියේ නෝනලා පැළඳ සිටින වටිනා කනකර පහසුවෙන් ලබාගන්නට හැකි ස්ථානයක් නිසා ඔවුන් මේ කොල්ලයන් සඳහා රූපලාවන්යාගාරම තෝරාගන්නා බව කියැවුණා.
මේ ආකාරයට රූපලාවන්‍යාගාර කොල්ලකෑම මෙම පිරිමි පුද්ගලයා නැතිව කාන්තාව පමණක් පැමිණ තනිව සිදුකරන අවස්ථාද තිබී ඇත.
ඇතැම් දිනවල රූපලාවන්‍යාගාර කොල්ලකන්නට නොහැකිවූ විට ඉහළ පැළැන්තියේ නෝනලා තනිවම නිවෙස්වල සිටින වේලාවන් බලා කොල්ලූපිටිය වැනි නාගරික ප්‍රදේශවලට යන මේ කාන්තාව කාගේ හෝ නමක් කියමින් එවැන්නෙකු ඉන්නවාදැයි නිවාසවලින් විමසා යන බවත් රවට්ටාගතහැකි නෝනා කෙනෙක් හමුවුණොත් එවැන්නකු නැතැයි කී පසු ‘මට හරි තිබහයි වතුර ටිකක් දෙන්න පුළුවනිද’ කියා අසා වතුර ගෙනෙන්නට එම නෝනා යන විට ඇය පසුපසම යන මේ කාන්තාව ඇයට නිවස ඇතුළේදී පිහිය පෙන්වා බියගන්වා මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකන බවත් වාර්තා වුණා.
අධික ලෙස මත්කුඩු වලට ඇබ්බැහිවූ මෙම කාන්තාව ගැන පොලිසිය සිදු කළ විමර්ශනවලදී ඇයට පෙර විවාහයකින් දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෝදර ප්‍රදේශයේ නිවසක ජීවත්වුණ බවත් සොයාගෙන තිබේ.
ටීෂර්ටයක් හා ඩෙනිමකින් සරල ලෙස සැරසී කොල්ලකෑම් වලට යන ඇය කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලබා උසස් පෙළද ඉහළින් සමත්වූ කාන්තාවක බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ඇගේ එක් සොයුරියක විවාහවී යුරෝපීය රටක ජීවත්වන අයෙකි.
ප්‍රදේශයේ වැදගත් ආකාරයට ජීවත්වන පවුලක කාන්තාවක වූ ඇය මෙවැනි දෙයකට කොටුවීම ගැන ප්‍රදේශවාසීන්ද පුදුමය පළකර ඇත.
ඇය පළමු විවාහයෙන් දික්කසාදවූ පසුව ඇගේ පාසල් කාලයේ පෙම්වතෙකු බව කියන මේ අවිවාහක පුද්ගලයා අනියම් පෙම්වතා ලෙස තබාගෙන ඇත. ඔහු තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවකු වූ අතර ඔහු නිසා මේ කාන්තාවද එයට පුරුදුවී තිබේ. එක් කාලයක් ඔහු සිරගතවී සිටි බවත් ඒ කාලයේ මේ කාන්තාව පමණක් තනිව ගොස් රූපලාවන්‍යාගාර හා නිවෙස් වලින් කොල්ලකෑම සිදුකර තිබෙන බවත් වාර්තා වුණා.
කාලයක් තිස්සේ මෙම කොල්ලකෑම් සිදුකළත් ඔවුන් සියුම් උපායන් අනුව කටයුතු කර තිබුණ නිසා පොලිසියෙන් බේරී සිට නමුත් වැල්ලවත්ත හා මෝදර රූපලාවන්‍යාගාරවල සීසීටීවී දර්ශන ඔස්සේ වැඩිදුර විමර්ශනය කිරීමේදී මෝදර ප්‍රදේශයේම පදිංචිව සිටින මේ කාන්තාව ගැන හෝඩුවාවන් පොලිසියට සොයාගන්නට ලැබුණා. ඒ අනුව ඇය නිවසේ සිටියදී පසුගියදා අත්අඩංගුවට පත්වූ අතර ඇගේ අනියම් පෙම්වතා සිටින ස්ථානයද වටළා පසුව පොලිසිය ඔහුවද අල්ලා ගත්තා. ඔවුන් විසින් ස්ථාන කිහිපයකට උකස් කර තිබුණ රුපියල් ලක්ෂ 7 කට අධික ස්වර්ණාභරණද පොලිසිය විසින් මේ වනවිට සොයාගනු ලැබ ඇත.
වැල්ලවත්ත පොලිසිය ඉදිරි පරීක්ෂණ මෙහෙයවනු ලබයි.