සුවඳ පිරුණ ආදරයට බොරු කළැයි
ලකී ඩයස්ට එරෙහිව ටෙලි නඩුවක්


ප‍්‍රවීණ නළු ලකී ඩයස් මුදල් ගනුදෙනුවකදී විශ්වාසය කඩ කළේ යයි කියමින් ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙකු නඩුවක් පවරා තිබේ.
ලකී ඩයස්  අධ්‍යක්ෂණය කළ ”සුවඳ පිරුණු ආදරය” නමැති ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අවශ්‍ය යයි කියූ මිලියනයකට අධික මුදල ධම්මික ඩයස් නමැති මෙම නිෂ්පාදකයා ලකී ඩයස්ට පිරිනැමීමෙන් පසු
ටෙලිනාට්‍ය වැඩ අරඹා තිබියදී එයට තවත් මුදල් මදි යයි ලකී කියූ අවස්ථාවේ


එයට එකඟ නොවූ නිෂ්පාදකයා තමාට තවදුරටත් එයට වියදම් කළ නොහැකි බව දන්වා නැවත තමා දුන් මුදල් ඉල්ලා ඇත.
එම අවස්ථාවේ ඔහු දුන් ලක්ෂ 10 කට වැඩි මුදල වෙනුවට ලකී නැවත ලබාදී ඇත්තේ ලක්ෂ 3 ක් පමණි. ඉතිරි මුදල ලබා නොදෙමින් ඔහු මගහරින්නේ යයි කියමින් මෙම නඩුව
ධම්මික ඩයස් මහතා පවරා තිබේ.

ක්නෝර් ලංකා ඇඟලූම් ආයතනයේ තත්ත්ව පාලක කළමනාකරු ලෙස රැකියාව කරන ධම්මික ඩයස් ටෙලිනාට්‍ය කර්මාන්තයට ඇති කැමැත්ත නිසා ලකී ලවා මෙම ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරවන්නට වෙර දැරූ බවත් මුලදී හිතවතෙකුවූ ඔහු තමාට දැන් වංචා කර ඇති බවත් කියමින් මේ නඩුව පවරා ඇත.

මේ සිද්ධියට අදාළ මූල්‍ය ගනුදෙනු පිළිබඳව බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට පොලිසියට අවසර දුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.