නාමල් අත්අඩංගුවට ගන්නට හේතුවූ
අත යට ගනුදෙනුව කුමක්ද?


අද දහවල් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට ලබන 18 වනදා දක්වා සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම වෙනත් කිසිම හේතුවක් නොව දේශපාලන පලිගැනීමක් බව මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ හිතවාදී පිරිස් චෝදනා කර ඇත.
කෙසේ වෙතත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් නොනැවතී අත්අඩංගුවට ගන්නට නම් ඔප්පු කරන්නට හැකි ප‍්‍රබල හේතුවක් තිබිය යුතුය.
අපට වාර්තාවන ආකාරයට මෙය අතයට ගනුදෙනුවක් ලෙස
එෆ්සීඅයිඞීය නම් කර ඇත. කිසිම බැංකු ගිණුමක බැරවීමක් නැතිව මූල්‍ය අපරාධයක් ලේසියෙන් ඔප්පු කරන්නට සාධක සොයාගන්නට බැරිවුවත් මෙයට නාමල් කොටුවී ඇත. නාමල්ට කෝටි 7 ක කප්පම් මුදලක් ලබාදුන් බව කාල්ටන් රග්බි සමාජයේ හිටපු සභාපතිවරයා සිදු කළ පාපොච්චාරණයක් මෙම අත්අඩංගුවට පත්වීමට ආසන්න හේතුවයි.

කොළඹ ගෝල්ෆේස් කලාපයේ පිහිටි පැරණි හමුදා මූලස්ථානය අයත් අක්කර හතරහමාරක ඉඩමක් විකිණීමට මහින්ද රජය සූදානම් වෙද්දී එය මිලට ගන්නට තරගකරුවන් රැසක් සිටියදී එය ක‍්‍රිස් නමැති ඉන්දියානු සමාගමක් වෙත ලබාදීමේ තීරණය එවක රජය ගෙන ඇත්තේ නාමල්ගේ කීම් බහකට බවත් නාමල් එය කර ඇත්තේ මේ කියන කප්පම් කොමිස් මුදල ලබාගෙනය යන්න නාමල්ට එරෙහිව තිබෙන චෝදනාවයි.
කෙසේ වෙතත් එය කෙලින් සිදු කළ ගනුදෙනුවක් නොවන බවද පරීක්ෂණ වලදී හෙළිව ඇතැයි පොලිසිය කියයි.
ක‍්‍රිස් සමාගම මෙම මුදල ගෙවා ඇත්තේ නිමල් පෙරේරා නමැති කාල්ටන් සභාපති වරයෙකුගේ ගිණුමකටය. නිමල් පෙරේරා බැංකුවේදී එම මුදල් නෝට්ටු බවට පත් කර එම තොගයම සම්පූර්ණයෙන් නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කළ බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිදරව්වී ඇත.

මේ ගැන නාමල් රාජපක්ෂගෙන් ප‍්‍රශ්න කරද්දී ඔහු කියා ඇත්තේ එම මුදල තමා අතට නිමල් පෙරේරාගෙන් මුදල් නෝට්ටු ලෙස ලැබුණ කතාව ඇත්තක් බවයි. නමුත් එය කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් ආධාර මුදලක් බවත් එය ඒ ස‍්ඳහා වියදම්වූ බවත් නාමල් කියා ඇත. ඒ වන විට කාල්ටන් ක‍්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස සිටි නිමල් පෙරේරා ඒ ආකාරයට තරග සංවිධානයක් වෙනුවෙන් මුදල් ලබාදීමක් සිදුවිය හැකි නමුත් පොලිස් පරීක්ෂණ අනතුරුව සොයා බලා ඇත්තේ ඇත්තටම ඒ මුදල් නාමල් එයට යොදවා ඇතිද යන්නයි.

නමුත් පරීක්ෂණ වලදී හෙළිව ඇත්තේ රග්බි තරඟාවලිය සඳහා  එයට සහභාගීවූ ක‍්‍රීඩා සමාජ 8 වෙහෙස දරා අනුග‍්‍රාහකයන් සොයාගෙන වියදම් දරා ඇති බවයි. නාමල් ක‍්‍රිස් සමාගමෙන් ලබා ගත් කෝටි 7 න් කිසිදු මුදලක් රග්බි තරඟාවලිය සඳහා වියදම් කර ඇතැයි ඔප්පු කරන්නට අවසානයේ බැරිව ගොස් තිබේ.
අත්අඩංගුවට පත් නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.