බාල දියණිය ධාරණිගේ නීති උපාධි ප‍්‍රදාන උළෙලට
ජනපති ලන්ඩන් යයි



ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ බාල දියණිය වන ධාරණී සිරිසේන මෙනෙවියගේ උපාධි ප‍්‍රදානෝත්සවය වෙනුවෙන් ජනපතිවරයා ඇතුළු පවුලේ සමීපතමයන් 6 දෙනෙකු ඊයේ එංගලන්තයේ
ලන්ඩන් නුවර බලා පුද්ගලික සංචාරයක් සඳහා

පිටත්ව ගොස් තිබේ.
ජනපති මෛත‍්‍රිපාලට චතුරිකා සහ ධාරණී දියණියන් හා දහම් පුතු සිටින අතර ඔහු ජනපති තනතුරට පත්වීමටත් පෙර සිටම දහම් හා ධාරණී දෙදෙනාම එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවී තිබුණි. දහම් එරට අධ්‍යාපන කටයුතු අවසන් කර තිබුනේ මින් වසර එකහමාරකට පමණ පෙරදීය.

ජනපති බාල දියණිය ධාරණි එංගලන්තයේ ස්ටැෆර්ඞ්ෂියර් විශ්ව විද්‍යාලයේ නීති අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටි අතර ඇය මේ වනවිට එම උපාධිය අවසන් කර ඇත.
එම උපාධි ප‍්‍රදානෝත්සවය හා වර්ණ ප‍්‍රදාන උළෙල අද පවත්වන්නට නියමිතය.
ජනපති හා පවුලේ අය පෞද්ගලික සංචාරයක් ලෙස එයට සහභාගිවීමට ඊයේ (12) රාත‍්‍රී ගොස් තිබුනේ මේ නිසාය.
නැවත ඔවුන් එළඹෙන 16 වන දා යලි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.