කර්තෘ හිමිකම් සහිත ෆයිල් සොරකම් කර අන්තර්ජාලය ඔස්සේ ඒවා ලෝකයට නොමිලේ බෙදාහැරීමේ චෝදනාවට පෝලන්තයේදී අත්අඩංගුවට පත්වූ කික් ඈස් ටොරන්ට් හිමිකරු ආර්ටිම් වූලීන් එලෙස අල්ලා දෙන්නට උදව් කර ඇත්තේ ලොව පතල ඇපල් හා ෆේස්බුක් සමාගම් බව මේ වනවිට වාර්තා වෙනවා.
ඇපල් සමාගම සතු අයිටියුන්ස් නමැති සංගීත නිර්මාණ මුදලට විකුණන වෙබ් අඩවියෙන්
එම නිර්මාණ වරින්වර මිලට ගෙන පසුව ඒවා නීතියට පටහැනි ලෙස අන්අයට නොමිලයේ බෙදාහැරීමට වූලීන් කටයුතු කළේය යන්න එම සමාගම කරන චෝදනාවයි. ඔහු ඒ සඳහා යොදාගත් ඇපල් ඊමේල් ලිපිනයද ඇමරිකානු රහස් පොලිස් අංශ වෙත ඇපල් සමාගම ලබාදී ඇති අතර ඒවා පරීක්ෂා කිරීමේදී එම ෆයිල් ඔහු යම් යම් සර්වර වෙත යොමු කරන ආකාරය හඳුනාගන්නට ලැබී ඇති බවද වාර්තාවේ.
ටොරන්ට් වෙබ් අඩවි පවත්වා යමින් ෆයිල් හුවමාරු කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුට නඩු පැවරීමට ඇමරිකානු අන්තර්ජාල නීතිය අනුව ඉඩක් නැති නමුත් කර්තෘ හිමිකම් සහිත දේ සන්තකයේ තබාගෙන ඒවා නීතියට පටහැණි ලෙස බෙදාහැරීමේ වරදට ඔහුව හසුකරගන්නට හැකිය.
වූලීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්නටත් ඇමරිකානු රහස් අංශ කටයුතු කර තිබෙනවා. මේ වනවිට සොයාගෙන තිබෙන්නේ ඔහු සතු ගිණුම් අතරින් එකක් පමණක් බවත් ඒ ගිණුමේ මාස 6ක් තුළ වූලීන් ඩොලර් මිලියන 31 ක ආදායමක් තැන්පත් කර ඇති බවත් වාර්තා වෙනවා.
ටොරන්ට් ෆයිල් හුවමාරුව සඳහා ඔහු පවත්වා යන කික්ඈස් හා අනුබද්ධිත වෙබ් අඩවි 7 න් දැන්වීම් පළකර එම ආදායම ලබා ඇත.
වූලීන් අත්අඩංගුවට පත්වීමත් සමග එම වෙබ් අඩවි ක‍්‍රියාවිරහිත කර තිබෙන නමුත් දැනටමත් එහි ඡායා වෙබ් අඩවි අන්තර්ජාලය තුළ සක‍්‍රීයවී ඇත.
මේ අතර අන්තර්ජාල නිදහස තහවුරු කරන ලෙසත් වූලීන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් මේ වනවිට අන්තර්ජාල පෙත්සමක්ද ආරම්භ කර ඇත.