Following පර්ස් හොරා
නි.ඇමති රන්ජන්ගේ අලූත්ම කතාව


මේ දිනවල දේශපාලන ක්ෂේත‍්‍රයේ වැඩිපුරම කතාබහට ලක්වෙන දෙදෙනෙකු වන්නේ තෙවරප්පෙරුම හා රන්ජන්ය.
මේ දෙදෙනාට සතිපතාම පුවත්පත් සිරස්තල මැවීමේ අපූරු හැකියාවක් තිබේ. දේශපාලනයටත් එහා ගිය රංගන ශිල්පී හැකියාව නිසාම රන්ජන් කරන්නේ හැමෝටම කරන්නට අමාරු වැඩය.
ගැටකපන ලද කුඞ්ඩෙකු පැනයද්දී හඹා ගොස්
අතටම අල්ලා ගැනීමේ වීර සිනමා ජවනිකාව සැබෑ ජීවිතයේදී පණ පොවන්නට රන්ජන්ට මෑතකදී හැකියාව ලැබිණි.
පසුගිය දිනෙක දහවල් කාලයේ රන්ජන් ප‍්‍රධාන චරිතය රඟපාන ”මායා” චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක කටයුත්තක් සඳහා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසලට ඔහු පැමිණ සිටි අවස්ථාවක එතැන වූ ගාලගෝට්ටියක් දැක කුමක්දැයි අසද්දී

ගැටකපන්නෙකු දෙසට ඇඟිල්ල දිගු කර
”අනේ සර් මං පර්ස් එක ගත්තෙ නෑනෙ. අන්න අර මිනිහා තමයි ඒක ගත්තෙ මම ආවෙ මිනිහගෙ සපෝර්ට් එකට.’ යයි එතැන පිරිසක් අල්ලාගෙන සිටි පුද්ගලයකු පවසා තිබුණි. ඒ සමගම ඒ කියන ලද හොරා එතැනින් පැන දිවයන්නට වී තිබේ.
ඔහු සැවොයි සිනමා ශාලාව අසලින් මුහුද දෙසට වූ මාර්ගය ඔස්සේ දිව යද්දී රන්ජන් වහාම ක‍්‍රියාත්මක වී ජීප් රථයකින් ඔහුව එළවා තිබේ.ගැට කපන්නා මුහුද දෙසට වූ මාර්ගය ඔස්සේ දිවගොස් අතුරු මාර්ගයකට පැන ගත් පසු
එය ඔස්සේ ජීප් රථය ධාවනය කළ නොහැකිවූ නිසා රන්ජන් ජීප් රථයෙන් පැන
අතුරු මාර්ගය ඔස්සේ ගැට කපන්නා ලූහුබැඳ තිබේ.
නි.ඇමැති රන්ජන්ගේ ආරක්ෂකයන්ද ඔහු පසුපස දිව ගොස් ඇත. අවසානයේ දැඩි වෙහෙසක් දරා ගැට කපන්නා සිය ග‍්‍රහණයට ගන්නට රන්ජන්ට හැකිව ඇත.
මුලදී හොරා කියා ඇත්තේ ”මම කාගේවත් සල්ලි ගත්තේ නැහැ. ඔහෙලට පිස්සුද? සල්ලි ගත්තේ හෝල් එක ළඟ හිටපු මිනිහා.’ ලෙසිනි.
ආරක්ෂක නිලධාරින් ගැට කපන්නා බියට පත් කළ පසුව ඔහු සත්‍ය හෙළි කර තිබේ.

‘අනේ සර් මම පර්ස් එක ගත්තා. මම අවුරුදු තුනක් තිස්සේ කුඩු ගහනවා. දවසකට රුපියල් තුන්දාහක්  ඕනෙ කුඩු බොන්න. ඒ මනුස්සයගෙන් මම රුපියල් 6500 ක් ගත්තා. මෙන්න ඒ සල්ලි මට ගහන්න එපා’ ඔහු කියා ඇත.
රන්ජන් ඔහුට පවසා ඇත්තේ,
”ඔයා මේ වගේ රස්සාවල් කරන්න එපා. රස්සාවක් නැත්නම් මම හොයලා දෙන්නම්. මම උදව් කරන්නම්’ ලෙසිනි. රන්ජන් සිය මුදල් පසුම්බියෙන් රුපියල් දෙදහසක
මුදලක්ද ගැටකපන්නාට දී ඇත.
ගැට කපන්නා සහ ඔහුගේ සහායකයා වැල්ලවත්ත පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු කථාව නිමා විය.