කතරගම ඇසළ වන්දනාකරුවන්ට
දඩමස් ලෙස බලූමස් විකුණන ජාවාරම
හෙළි වුනේ තරුණියක් නිසා



පසුගියදා වාර්තාවූ කතරගම දඩ මස් ලෙස විකුණන බලූ මස් ජාවාරම පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වෙනවා.
කතරගම ඇසල උත්සව සමය මුල්කරගෙන පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කරගෙන දඩමස් ලෙස බලූ මස් විකිණීම කාලයක් තිස්සේ ජයටම කරගෙන යන ව්‍යාපාරයක් බවද හෙළිව ඇත.
කතරගම ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන තරුණ නිලධාරිනියක මීට මාස තුන හතරකට පෙර
‘අහිංසා ශ‍්‍රී ලංකා’ සත්ව හිමිකම් ක‍්‍රියාකාරීන් වෙත එවූ ඊමේල් පණිවිඩයකින් මේ ගැන තොරතුරු මුල්වරට දන්වා තිබෙන අතර ඇය විමසීමේදී මෙසේ කියා ඇත.
‘‘මම මෙහෙ වැඩට ඇවිල්ල තාම මාස කීපයයි. මම ආපු මුල් කාලෙ ඉඳලා මෙහෙ ඉන්න අසරණ සත්තු කීප දෙනෙකුට කෑම දැම්මා. මම කෑම දෙන බව දන්න නිසාම හැමදාම එකම වෙලාවට මම ඉන්න කාර්යාලයට එන්න බල්ලන් තුන් හතර දෙනෙක් පුරුදු වෙලා හිටියා. නමුත් මාත් එක්ක වැඩ කරන කීප දෙනෙක් මේ වැඬේට මට විහිළු කළා. ඒගොල්ලො කිව්වෙ හොඳට කන්න දීලා මහත් කරන්න,
ඇසළ මාසෙන් පස්සේ ඔයාට මේ බල්ලන්ව දකින්න වෙන්නෙත් නැහැනෙ කියලා.මුලදී මම ඒවා වැඩිය ගණන් ගත්තෙ නැහැ. ඒත් එක දවසක් මම ඇහුවා මොකක්ද ඒ කතාවෙ තේරුම කියලා. එදා තමයි මට මේ තිරිසන් කතාව මුලින්ම දැන ගන්න ලැබුණෙ. අපි දාන කෑම කාලා හොඳට මහත් වුණාට පස්සේ ඒ බල්ලන්ගෙ මරණය ඉක්මන් වෙනවලූ.එහෙම වෙන්නෙ කතරගම නගරයේ ඉන්න හොඳින් වැඩුණු අසරණ බල්ලන්ව ඇසළ උත්සව කලෙට මරලා දඩ මස් විදියට විකුණන නිසාලූ. ඒත් මුලදි මම ඒ කතාව විශ්වාස කළේම නැහැ. ඒත් ඊට පස්සෙත් කීප දෙනෙක්ම මේ කතාව කිව්ව නිසා මම ටිකක් ඒ ගැන සොයා බැලූවා.

බලනකොට ඒ කතාව ඇත්තක්. මම දාන කෑම වලිගය වනාගෙන ඇවිත් කාලා මා දිහා ස්තුති පූර්වකව බලලා යන මේ අසරණ බල්ලො ඇසළ කාලෙට මරලා දඩ මස් විදියට විකුණනවා කියලා හිතන්නවත් පුළුවන් ද?’

එම තරුණිය කළ ගවේෂණයේදී වන්දනාකරුවන්ට දඩ මස් නමින් බලූ මස් විකිණීමේ ජාවාරම ගැන පහත තොරතුරු හෙළි විය.

කතරගමට පැමිණෙන වන්දනාකරුවන්ගෙන් බොහොමයක් කතරගම වැඳ පුදා ගත් පසු දඩ මස් සොයමින් නගරයේ ඒ මේ අත යෑම සාමාන්‍ය දෙයකි. දඩ මස්වලට ඇති ඉල්ලූම වැඩිවත්ම කතරගම ප‍්‍රදේශයේ ජීවත්වන ඇතැමුන් බල්ලන් මරා දඩ මස් නමින් විකුණා මුදල් උපයන්නට පටන් ගැනීමෙන් මෙම ජාවාරම ව්‍යප්ත වී ඇති බවට සාක්ෂි හමු වී තිබේ.වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ වන සතුන් මැරීමට සැළසුම් කිරීම සහ මැරීම සහ සතුන්ගේ කොටස් ළඟ තබා ගැනීම දඟුවම් ලැබිය යුතු අපරාධයන් ය. මේ නිසාම බලූ මස් සපයන ජාවාරම්කරුවන් මෙන්ම දඩ මස් සොයන වන්දනාකරුවන් ද මෙය සිදු කරන්නේ හොර රහසේ ය.

මෙහිදී ඝාතකයාට ලැබෙනුයේ එම මුදලින් අඩක් නැතිනම් ඊටත් අඩු ප‍්‍රමාණයකි. මෙම තැරැව්කරුවන් බලූ මස් සියතටවත් නොගෙන මුදල් ගැනීම පමණක් සිදු කරනුයේ හුදෙක් තමන්ගේ ආත්ම ගෞරවය සහ නීතියෙන් ආරක්ෂා වීම පිණිසය.ඊට අමතරව ජංගම දුරකතන ඔස්සේ කලින් වෙලාව වෙන් කරගෙන දඩ මස් යැයි කියා පිසූ බලූ මස් වන්දනාකරුවන්ගේ ‘බයිට්’ සඳහා විකිණීම සිදුවන බවට සාක්ෂි පවා ලැබී තිබේ.

එසේම කතරගමට ආසන්න එක් ප‍්‍රදේශයක මෙසේ මරණ ලද බල්ලන්ගේ අමු මස් විකිණීමක් සිදු වී තිබිණි. එහිදී එම බලූ මස් සමග මුවන්, ගෝනුන් ආදී සතුන්ගේ ශරීර කොටස් තැන්පත් කොට තිබුණේ එ්වා බහා ඇති  අධි ශීතකරණයට එබී බලා දඩ මස් ඉල්ලන පාරිභෝගිකයන් රැවටීම පිණිස ය. ඊට අමතරව සෙල්ල කතරගම වතුරුවාරාම විහාරස්ථානයට නුදුරින් වනගත ප‍්‍රදේශයක මෙසේ මැරීමට ගෙන ආ බල්ලන් බැඳ තබා ඇති ස්ථානයක් පිළිබඳව ද වාර්තා වී තිබේ.
තවත් ස්ථානයකින් මරා දමන බල්ලන්ගේ හිස් සහිත පොහොර උරයක් ප‍්‍රදේශවාසීන්ට හමු වී තිබුණේ මෙම කරුණ තව දුරටත් සහතික කරමිනි. ආහාරයට නොගන්නා වෙනත් වන ජීවීන්ගේ මස් ද දඩ මස් නමින් විකිණීම මෙම ප‍්‍රදේශය තුළ සිටින ජාවාරම්කරුවන්ගේ තවත් එක් කටයුත්තකි. එසේම ජලයට විෂ දමා සහ උගුල් අටවා වන සතුන් මැරීම ද මෙම ප‍්‍රදේශය තුළ සිදුවනකුප‍්‍රසිද්ධ ජාවාරම් ය. පසුගිය සතියේ ද ජලයට විෂ දමා වන සතුන් මැරීම සඳහා උගුල් අටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හම්බන්තොට ගන්නොරුව හතරේ කනුව ප‍්‍රදේශයේ දී වන ජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වී තිබිණි.

සටහන - දුලංජලී මුතුවාඩිගේ