නවක වදය ගැන සිත්තැවුලෙන් ඉඳලා
බෙල්ල කතුරකින් කැපිලා

මොරටුවේ සරසවි සිසුවාගේ මරණය අභිරහසක්


ඊයේ මොරටුව කටුබැද්ද ප‍්‍රදේශයේ පිහිටි සරසවි සිසුන් නවාතැන්ගන්නා පුද්ගලික නේවාසිකාගාරයක කාමරයක් තුළ මියගොස් සිටි මොරටුව සරසවි පළමු වසර සිසුවාගේ මරණය සිය දිවිනසාගැනීමක්ද නොඑසේ නම් ඝාතනයක්ද යන්න තවම අවිනිශ්චිතව පවතී.
මියගිය සිසුවා සමග තවත් සිව්දෙනෙකු මෙම නවාතැන්පොළේ කාමර තුනක මාසික කුලියට ලැගුම්ගෙන අධ්‍යාපන කටයුතුවල නියැළෙමින් සිටි අතර මියගිය සිසුවා සිටි කාමරයේ තවත් සිසුවෙකුද
නතරවී සිට ඇත.
පෙරේදා උදේ දේශන සඳහා එක් එක් වේලාවන් වල පිරිස පිටව ගියත් මියගිය සිසුවා පමණක් කාමරයේ තනිවී සිට ඇත.
සවස් කාලයේ දේශන අහවරවූ පසු සෙසු මිතුරන් නවාතැනට එනවිට මියගිය සිසුවා සිටි කාමරයේ දොරගුළු දමා තිබුණ බවත් ඇතුළෙන් කෙඳිරිලි හඬක් ඇසුණ බවත් මිතුරන් පොලිසියට පවසා තිබේ.

පසුව දොර කඩා කාමරය ඇරගන්නට ඔවුන් කටයුතු කළ බවද පොලිසියට කියා ඇත.
ඒ අනුව විවර කර බලද්දී කාමරයේ ලේ විලක් මැද කෙඳිරිගාමින් මියගිය සිසුවා වැටී සිටි බව මිතුරන් ප‍්‍රකාශ කර තිබේ. වහාම ඔහු රෝහල් ගත කරන්නට කටයුතු කළත් ඇතුළත් වනවිටත් මියගොස් තිබුණ බව රෝහල් ආරංචි වාර්තා කළා.
සිසුවාගේ බෙල්ලේ ස්ථාන දෙකකට කතුරකින් සිදු කළ කැපුම් පහරවල් කිහිපයක් හා තියුණු තලයකින් බඩ ප‍්‍රදේශයට හානිවීමක් දක්නට තිබූ බවත් අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය දසනායක මහතා වාර්තා කර තිබේ. කැපුම් මගින් ගලාගිය රුධිරය ශරීර අභ්‍යන්තරයට ගලා යාමෙන් මෙම මරණය සිදුවී ඇතැයිද අධිකරණ වෛද්‍යවරයා තීන්දු කර ඇත.
මෙලෙස මියගියේ මොරටු සරසවියේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ සිසුවෙකුවූ නිවන්ත දිනේෂ් (23) නමැත්තෙකි. ඔහු ත‍්‍රිකුණාමලය, චීන වරාය, හතර කණුව ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ස්වභාවයෙන්ම නිහඬ අයෙකු බව කියන ඔහු සරසවියේදීත් හුදෙකලාව කල්ගත කර තිබෙන අයෙකු බව පැවසේ.
සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සිසුවාගේ ඥාති මවක (ලොකු අම්මා)

වන මහනුවර රිකිල්ලගස්කඩ පදිංචි කරුණාවතී මහත්මිය කියා ඇත්තේ, සිසුවා පිනට දහමට ලැදි නිහඬ අයෙකු බවත් සියදිවිනසාගෙන මේ ආකාරයට මරණයට පතවූවා යයි කීම අදහාගන්නට බැරි බවත්ය.
 මීට දින දෙකකට පෙරත් තමාව බලන්නට ඔහු ආ බවත් කියන ලොකු අම්මා ඔහුට සරසවියේ තිබෙන කිසිදු ගැටලූවක් හෝ පුද්ගලික ගැටලූවක් දන්නා තරමින් තිබුනේ නැති බව කියා ඇත. කෙසේ වෙතත් නවක වදය සම්බන්ධ ගැටලූ පමණක් මින් ඉහත පැමිණි අවස්ථාවක කථා කළ බව ඇය දන්වා ඇත.
‘ළමයි හරිම අමුතුයි. හරියට බණිනවා. වද දෙනවා ඉන්න බැහැ’ කියා මුල් වතාවේ තමාට කියා තිබුණ බවද එම වෙලාවේ සරසවි නොයා සිටින්නට උත්සාහ කළ නමුත් තමා ඇතුළු අය පෙරැත්ත කර නැවත සරසවියට යැවූ බවද දන්වා ඇත. සියදිවිනසාගැනීම විශ්වාස කරන්නට බැරි බවත් මරණය සැක බවත් ඇය පොලිසියට දන්වා ඇත.
මෙම මරණය කිසියම් සිත්තැවුලක් නිසා දිවි තොරකරගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.