මව සහ දියණිය
නිවස තුළම කපා කොටා මැරූ අනියම් සැමියා



විවාහක කාන්තාවකගේ නිවසක පදිංචිව සිටි අනියම් පුරුෂයෙකු එම නිවසේදී ඇය හා ඇගේ දියණියක කපාකොටා මරා දැමීමේ අවාසනාවන්ත පුවතක් රත්නපුර වේවැල්වත්ත මුරගවිලාගම ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ඉකුත් 2003 වර්ෂයේදී කිසියම් පිරිසක් ඝාතනය කර ඇත. ඉන් පසු කාලයක ඇය අනියම් සැමියකු සමග ඇසුරක් ආරම්භ කර තිබෙන අතර පසුව රත්නපුර වේවැල්වත්ත ප‍්‍රදේශයේ ඇගේ මහගෙදරට ආසන්නයේ පැවති සිද්ධිය වූ නිවසේ පදිංචියට ගොස් තිබේ.
මෙම කාන්තාවට එම විවාහයේ දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන්
ඇගේ මව පදිංචි නිවසේ නතර කර ඇය අනියම් පුරුෂයා

සමග වාසය කර තිබේ.
සැකකාර අනියම් සැමියා ගොවිතැන් කරමින් ජීවත්වූ අයෙකි. මෙම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියාගේ ඝාතනය වෙනුවෙන් ඇයට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් මීට ටික කලකට පෙර අධිකරණය මාර්ගයෙන් ලැබී ඇති අතර
මෙම මුදලින් රුපියල් ලක්ෂය බැගින් ඇය සිය දරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති අතර ඉතිරි රුපියල් ලක්ෂය මුදල ඇගේ වියදම් සඳහා යොදාගෙන තිබේ.
එම වන්දි මුදලින් රූපවාහිනි යන්ත‍්‍රයක්ද මිලදී ගැනීමට ඇය කටයුතු කර තිබෙන අතර ඇයගේ දරුවන් රූපවාහිනිය නැරඹීම සඳහා මෙම නිවසට නිතර යැමට ඒමට පුරුදුව සිට ඇත. ඉකුත් 11 වැනිදා ද ඝාතනයට ලක්වූ දියණිය රූපවාහිනිය නැරඹීම සඳහා සිය මවගේ නිවසට පැමිණ ඇත.
පසුදින ඇය පාසල් නොගිය නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ඇගේ මිත්තනිය එම නිවසට පැමිණ තිබේ.

ඒ අවස්ථාවේ නිවසේ කාමරයක මෙම දෙදෙනා මරා දමා සිටිනු ඇය දැක වේවැල්වත්ත පොලිසියට දැනුම්දීමෙන් පසු ඝාතනය ගැන හෙළි විය.

මව හා දියණිය නිවස උල් ආයුධ වලින් කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කර තිබියදී වේවැල්වත්ත පොලිසිය මගින් පෙරේදා (12 වැනිදා) සොයාගෙන ඇත.
මෙසේ ඝාතනය කර ඇත්තේ 37 හැවිරිදි සුරේන්ද්‍රන් සංජීවනී සහ ඇගේ දියණිය වන 13 හැවිරිදි තලපච්චන් ශෂිකලා බවට හඳුනාගෙන ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනියම් සැමියා විසින් මෙම ද්විත්ව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.
සැකකරු ප‍්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වේවැල්වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.